හුංගම ප්රදේශයේදී “කජ්ජා” නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාත*නය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා අත්යවශ්යව සිටි ප්රධාන පෙළේ සැකකාරියක් වන අචිනි නොහොත් අනෝෂා ලක්මාලි නැමැති කාන්තාව ඩුබායි රාජ්යයේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණි.
මිද්දෙණිය, කටුවන ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ඝාත*නයට ලක් වූ “කජ්ජා” නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති අත්තේ, ඝාත*නයට ලක්වන අවස්ථාව වන විට “කජ්ජා” වෙත අවසාන දුරකථන ඇමතුම සහ කෙටි පණිවිඩය ලබා දී ඇත්තේ ද මෙම සැකකාරිය බවය.
තවද, “බැකෝ සමන්” නැමැත්තාගේ උපදෙස් මත, ආහාර ගැනීම සඳහා “කජ්ජා” සහ දරු දෙදෙනා අදාළ අවන්හල වෙත උපායශීලීව කැඳවාගෙන යාම සිදු කර ඇත්තේ ද ඇය විසින් බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
එලෙස ආහාර ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි ප්රහා*රය එල්ල වී තිබුණි.
ඩුබායි රාජ්යයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි මෙම සැකකාරිය මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එරට වෙත ගොස් තිබිණි.
ඒ අනුව, අද දින අලුයම 05.20ට ශ්රී ලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
එහිදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇයගෙන් මූලික ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, දැඩි ආරක්ෂක රැකවල් මධ්යයේ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇත.


