ඥානසාර හිමි වෙනුවෙන් මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීමට ලැබෙන රජයේ ප්‍රතිචාරය නලින්ද කියයි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කර ගැනීම සඳහා මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කර නැති බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

කෙසේ නමුත් මහානායක හිමිවරුන් විසින් ඉල්ලීම් යොමු කළද රජය සෑම විටම කටයුතු කරනුයේ රටේ පවතින නීතිය අනුව බව පැවසූ අමාත්‍යවරයා නීතියට ඉහළින් සිටිමින් කිසිදු වෙනසක් කිරීමට රජය අදහස් නොකරන බවද පැවසීය.

කෙසේ නමුත් ඥානසාර හිමියන් සම්බන්ධව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් මින් පෙර බන්ධනාගාර කොමසාරිස්වරයාට යොමු කරන ලද ලිපිය අනුව බන්ධනාගාර නිත්‍ය නියෝග වෙනස් කළ බවත් පැවසූ අමාත්‍යවරයා එම නිත්‍ය නියෝග මත ඉදිරියේදී කටයුතු කරන බවද අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“අති ගෞරවණීය ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේලා සිව්නම විසින් බන්ධනාගාර කොමසාරිස්තුමාට යවන ලද ලිපිය පදනම් කරගෙන අපි ඊට පහුවෙනිදාම මහානායක ස්වාමීන්වහන්සේලාගේ නියෝජිතයින් සමග විශේෂයෙන් අපේ අනුනායක ස්වාමින්වහන්සේලාත් ඇතුළු ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කළා.  ඒ සාකච්ඡාවේ ප්‍රථිපලයක් හැටියට තමයි බන්ධනාගාර නිත්‍ය නියෝග සඳහා එකඟතාවයක ආවේ. ඒ අනුව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම අනුව ඒ සාකච්ඡා පැවැත්වෙලා ඒ සාකච්ඡාවල ප්‍රථිපලයක් හැටියට නිත්‍ය නියෝග වෙනස් කළා. ඒ අනුව දැන් ඒ වෙනස් කරන ලද නිත්‍ය නියෝග අනුව තමයි ඉදිරියේදී කටයුතු සිදුවෙන්නේ. මෙතෙක් අපි උන්වහන්සේලා කියන ලද කරුණු අනුව කටයුතු කරලා තියෙනවා.

එකක් අපිට කියන්න පුළුවන් අපි කටයුතු කරන්නේ පවතින නීතිය අනුව සහ නීතියට සියලු දෙනා යටත් කියන තැන ඉඳගෙන. ඒ නිසා අධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් අධිකරණයට ඉහළින් සිටිමින් වෙනස් කිරීමට රජයේ අදහසක් නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *