කුඩාවැල්ලේ ධීවරයින් 4දෙනා ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව කියයි

කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්ව සිටියදී සොයාගත් ධිවරයින් සිව්දෙනා මේ වනවිට ‘සිදුරළ’ නෞකාව මගින් ආරක්‍ෂිතව ගොඩබිමට රැගෙන එමින් සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

2026 ඔක්තෝබර් මස 21 වැනි දින කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන් වූ මෙම ධීවරයින් සිව්දෙනා සොයා ධීවර දෙපාර්තමේන්තුව විසින් සිදුකළ දැනුම් දීමට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ගුවන් හමුදාව සහ එම මුහුදු කලාපයේ  අනෙකුත් ධීවර යාත්‍රා දැනුවත් කරමින් ඒකාබද්ධ සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමක් සිදුකර තිබුණි.

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් අනෙකුත් ධීවර යාත්‍රා දැනුවත් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරල නෞකාව යොදවා සිදුකළ එම ඒකාබද්ධ මෙහෙයුම අතරතුරදී, අතුරුදහන්ව තිබූ  ධීවර යාත්‍රාව සහ එහි ගමන් ගත් ධීවරයින් සිව්දෙනා නොවැම්බර් මස 01 වැනිදා පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී ‘හේෂක පුතා’ (IMUL-A-0658-KLT) දරන බහුදින යාත්‍රාව විසින් නිරුපද්‍රිතව සොයාගැනීමට හැකි විය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *