2027 අයවැය යෝජනාවට අනුව වයස අවුරුදු 18ට වැඩි පාසල් සිසුන්ට කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කිරීම සඳහා අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළේ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, සිසුන් තුළ කොටස් වෙළෙඳපොළ පිළිබඳ මූලික දැනුම වර්ධනය කිරීම සහ අනාගතයේදී ඔවුන් සාර්ථක ව්‍යවසායකයින් බවට පත්වීමට අවශ්‍ය මූල්‍ය දැනුම ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවය.
ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි, 13 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන්ට මෙම වැඩසටහන සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතී.
ඒ සඳහා අයදුම් කරන සිසුන් කොළඹ කොටස් වෙළෙඳපොළ මඟින් හඳුන්වා දෙන පාඨමාලාවක් සම්පූර්ණ කළ යුතු අතර, අනතුරුව පැවැත්වෙන විභාගයෙන් සමත්වීමෙන් පසු එක් සිසුවෙකුට රුපියල් 10,000ක ආයෝජන අවස්ථාවක් හිමිවන බවද ඔහු පැවසීය.
මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කර ඇති බව සඳහන් කළ විජේසුන්දර මහතා, නාගරික පාසල්වලට පමණක් සීමා නොවී ග්‍රාමීය ප්‍රදේශවල සහ අඩු පහසුකම් සහිත පාසල්වල සිසුන්ටද මෙම අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බව පැවසීය.
කොටස් වෙළෙඳපොළ පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබාදීම තුළින් සිසුන්ට අනාගතයේදී තම ධනය වර්ධනය කරගැනීමට මෙන්ම ව්‍යවසායකයින් බවට පත්වූ පසු කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ප්රාග්ධනය රැස්කර ගැනීමටද අවශ්‍ය මූලික පදනම සකස් කිරීම මෙම වැඩසටහනේ තවත් අරමුණක් බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ කොළඹ කොටස් වෙළෙඳපොළේ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා,
“ඊයේ දිනයේදී අතිගරු ජනාධිපතිතුමා සිය අයවැය ප්රකාශනයේදී ‘සැමට කොටසක්, සැමට ඒකකයක්’ යන සංකල්පය පිළිබඳව සඳහන් කළා. ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි, 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෑම සිසුවෙකුටම මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව තිබෙනවා. ඔවුන් අයදුම් කිරීමෙන් අනතුරුව අප විසින් හඳුන්වා දෙනු ලබන පාඨමාලාවක් හැදෑරිය යුතුයි. එම පාඨමාලාව හැදෑරීමෙන් පසුව විභාගයක් පැවැත්වෙනවා. එම විභාගයෙන් සමත් වන සෑම සිසුවෙකුටම රුපියල් 10,000ක ආයෝජන අවස්ථාවක් හිමි වෙනවා.
මෙම වැඩසටහන හරහා අපේක්ෂා කරන්නේ සෑම දරුවෙකුටම කොටස් වෙළෙඳපොළ තුළින් ආයෝජනය කර ලාභයක් උපයා ගැනීමට ඇති හැකියාව පිළිබඳ අවබෝධයක් ලබාදීමයි. එමෙන්ම, අනාගතයේදී ඔවුන් ව්‍යවසායකයින් බවට පත්වූ පසු කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ප්රාග්ධනය සපයා ගැනීමට හැකියාවක් පවතින බව තහවුරු කරදීමත් මෙම වැඩසටහන හඳුන්වාදීමේ අරමුණක්. මේ සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කර තිබෙනවා. මෙම වැඩසටහන හරහා ග්‍රාමීය ප්‍රදේශවලට ගොස් අඩු පහසුකම් සහිත පාසල්වල දරුවන්ටත් මෙම අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරනවා. ”


