අයවැයට එරෙහිව රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කිහිපයක් අද වර්ජනයේ

2027 වර්ෂය සදහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා වලට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවයේ සංගම් රැසක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භකර තිබේ.

ඒ අනුව අද (16) දිනයේ වැඩ වර්ජන සහ විරෝධතා ක්‍රියාත්මක කරන බව එම සංගම් පවසයි.

වාරිමාර්ග තාක්ෂණ සහයකවරුන්ගේ සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රීයේ සිට දින දෙකක් රාජකාරී කටයුතුවලින් ඉවත් වී අසනීප නිවාඩු වාර්තා කර තිබේ.

එම සංගමයේ සභාපති සමන් තුෂාර වෛද්‍ය රත්න මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“වාරිමාර්ග ක්ෂේත්‍රයේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි තාක්ෂණ සහායක නිලධාරීන් 450කට අධික පිරිසක් සේවය කරනවා. නමුත් අප සංගමයේ නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුවී තිබෙනවා. ගංවතුර පාලනය කිරීම, වැව් හා අමුණුවලින් ගොවි ජනතාවට ජලය සැපයීම මෙන්ම ‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් නිරීක්ෂණය කිරීම සඳහා අප සංගමයේ නිලධාරීන් පැය 24 පුරාම අඛණ්ඩව ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වෙනවා. මෙම සියලුම නිලධාරීන්ට තම පෞද්ගලික මුදලින් ඉන්ධන වියදම් දැරීමට සිදුව තිබෙනවා. එම වියදම් තවදුරටත් දරා ගැනීමට අපහසු තත්ත්වයක් උද්ගත වී ඇති නිසා තමයි අපි මෙවර අයවැයෙන් යම් සහනයක් ලැබේවි කියලා බලාපොරොත්තු වුණේ. නමුත් අපට එවැනි සහනයක් ලැබුණේ නැහැ. ඒ අනුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කිරීමට අප කටයුතු කළා. දින දෙකක් තුළ අපගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය කටයුතු කරනවා නම් සාකච්ඡා කිරීමට අප සූදානම්. එසේ නොවුණහොත් ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන් සහ මේ වන විට වාන් මට්ටමට ළඟා වී ඇති ජලාශ ආශ්‍රිතව යම් ආපදා තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ගොවි ජනතාව ද දැඩි පීඩාවකට පත්විය හැකියි. එබැවින් මෙම ගැටලුව සම්බන්ධයෙන් රජයේ බලධාරීන් මැදිහත් වී අපට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

එමෙන්ම සමස්තලංකා ආපදා සහන සේවා වෘතීය සමිති සංගමය ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් අද දිනයේ වැඩවර්ජනයක් ආරම්භ කරන බව එහි සභාපති උපුල් කුමාර මහතා පැවසීය.

එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා,

”සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරී වෘත්තීය සංගමය ලෙස අද උදෑසන සිට සමස්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මෙම වැඩ වර්ජනයේ ප්‍රධාන ඉල්ලීම් හතරක් තිබෙනවා. මෙම ඉල්ලීම් අප විසින් ‘දිට්වා’ ආපදා තත්ත්වය ආරම්භ වූ අවස්ථාවේ සිට ඉදිරිපත් කළ ඉල්ලීම්යි. එම ඉල්ලීම් සම්බන්ධයෙන් නොවැම්බර් 5 වැනිදා ආරක්ෂක ලේකම්වරයා එකඟතාව පළ කරමින් සතියක් ඇතුළත ඒවා ලබාදීමට පොරොන්දු වුණා. නමුත් මේ වන විටත් එම පොරොන්දුව ඉටු කිරීමට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අදාළ ආයතන කටයුතු කර නැහැ. ඒ වගේම මේ සම්බන්ධයෙන් සති තුනකට පමණ පෙර ජනාධිපතිවරයා දැනුවත් කිරීමටත් අප කටයුතු කළා. නමුත් අපගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවධානයක් යොමු කර නැහැ. මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේදී පවා ආපදා සහන සේවා නිලධාරීන්ගේ ගැටලු සහ ඉල්ලීම් නොසලකා හැර තිබෙනවා. ඒ හේතුවෙන් අද උදෑසන සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට අප තීරණය කළා. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යටතේ සියලුම ආපදා සහන සේවා රාජකාරිවලින් ආපදා සහන සේවා නිලධාරීන් ඉවත්ව සිටිනවා.”

මේ අතර සිය ක්ෂේස්ත්‍ර රාජකාරී සිදුකිරීමේදී මුහුනදෙන ගැටලු සම්බන්දයෙන් මෙවර අය වැයෙන් අවධානය යොමු නොකිරීමට විරෝධය පළකරමින් අද දිනයේ පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයක් පවත්වන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය පවසනවා.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන එහි සභාපති ඉංජිනේරු එල්.එස්.සූරියබණ්ඩාර මහතා,

”ඉංජිනේරු සේවයේ ක්ෂේත්‍ර රාජකාරි වෙනුවෙන් අපට කාලයක් තිස්සේ ලබාදුන් දීමනාව 2024 වසරේදී, විශේෂයෙන්ම රටේ පැවති ආර්ථික තත්ත්වය හේතුවෙන් අත්හිටුවීමට කටයුතු කළා. නමුත් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස අපට අවශ්‍ය මූල්‍ය පහසුකම් මෙන්ම අනෙකුත් පහසුකම් ද ලබාදෙන ලෙසයි. විශේෂයෙන්ම ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වීමේදී නිලධාරීන්ට පෞද්ගලිකව සැලකිය යුතු වියදමක් දැරීමට සිදුවනවා. ඒ වෙනුවෙන් අපි රුපියල් 75,000ක දීමනාවක් ඉල්ලා සිටිනවා. මෙහිදී අප ඉල්ලා සිටින්නේ වැටුප් වැඩි කිරීමක් නොවෙයි. ක්ෂේත්‍ර රාජකාරි ආවරණය කිරීමේදී නිලධාරීන්ට දැරීමට සිදුවන අමතර වියදම් පියවා ගැනීම සඳහා අවශ්‍ය දීමනාවක් ලබාදෙන ලෙසයි. ඒ අනුව රජය මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් අද දිනයේ අප පවත්වන විරෝධතා රැලිය පාර්ලිමේන්තු පිවිසුම අසලදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කර කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස රජයේ අදාළ බලධාරීන්ගෙන් සහ නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *