අයවැයෙන් පසු රජයේ ක්ෂේත්‍ර කිහිපයකට අයත් වෘත්තිය සමිති විසින් සිදුකරන ඉල්ලීම් පිළිබඳව රජය අවධානය යොමු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ඒ අනුව සිදුකළ හැකි සියලු දේ හැකි ඉක්මනින් කිරීමට බලාපොරොත්තු වන බවය.
කෙසේ නමුත් 2027 ජනවාරි වන විට වන විට සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප දැන් පවතින තත්ත්වයට වඩා ඉහළ මට්ටමක ගෙන එන බවත් පැවසූ අමාත්‍යවරයා 2027 වසරට ලැබීමට නියමිත වැටුපට අදාළ සියලු දීමනා පසුගිය 2025 අප්‍රේල් මාසයේ සිට ලබා දීමට කටයුතු කළ බවද පැවසීය.
එමෙන්ම ක්ෂේත්‍ර කිහිපයක ගැටලු පවතින බව රජය පිළිගන්නා බවත් පැවසූ අමාත්‍යවරයා සියලු ක්ෂේත්රවල ගැටලු එකවර විසඳීමට නොහැකි බවත් එම ගැටලු ක්‍රමානුකූලව විසඳීමට පියවර ගන්නා බවද අද පැවැති කැබිනට් හමුවේදී සඳහන් කළේය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“වෘත්තිය සමිති ඉදිරිපත් කරන ඉල්ලීම් රජය සාවධානව අවධානය යොමු කරනවා. අපි ඒවාට ඇහුම්කන් දෙනවා. කරන්න පුළුනන් දේවල් හැකි ඉක්මනින් කරනවා. හැබැයි මේ කිසිම උද්ගෝෂණයක්, වැඩවර්ජනයක් නොතිබුණු කාලයක 2025 පෙබරවාරි මාසයේදී ආණ්ඩුව හැටියට තීරණය කරලා ඉතා ඉහළ වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ඒ අනුව 2027 ජනවාරි මාසයේදී ගෙදර ගෙන යන වැටුප හැමකෙනාගෙම වැඩිවෙලා තියෙන්නේ. ඒක කාලයකට පස්සේ ලැබුණ ඉහළම වැටුප් ප්‍රමාණයක්. 2027 ලැබීමට නියමිත වැටුපට අදාළ අතිකාල, නිවාඩු දින දීමනා, අමතර රාජකාරී ඇතුළු දීමනාත් 2025 අප්‍රේල් මාසයේ සිට ලබා දෙන්න අපි කටයුතු කළා… 2027 ජනවාරි මාසයේත් මූලික වැටුප් වැඩිවීමක් ලබා දෙන නිසා ඕනේ නම් මේ කිසිවක් නොදී ඊළඟට අවුරුද්දකට කල් දාන්න තිබුණා. නමුත් අපි කල්පනා කළා ක්ෂේත්‍ර ගණනාවක ප්‍රශ්න තිබෙනවා ප්‍රශ්න ඔක්කොම විසඳන්න බෑ. ඒ නිසා මේ මොහොතෙදි යම් ක්ෂේත්‍ර කිහිපයකට දීමනා ලබා දීලා තියෙන්නේ. ඒ දීමනා සමහර ඒවා ලබා දීලා තියෙන්නෙත් ජනවාරි මාසේ ඉඳන් ක්‍රියාත්මක වෙන්න නෙමෙයි ජුලි මාසයේ ඉඳන් ක්‍රියාත්මක වෙන්න. දීමනා කොටසක් තමයි මේ අවුරුද්දේ ලැබෙන්නේ. මේ සියලු දීමනා, පඩිවැඩිවීම්, වරප්‍රසාද වැඩිවීම් එක්ක අපි බලාපොරොත්තු වෙන රුපියල් බිලියන 2000ක ප්රාග්දන වියදම වියදම් කිරීමත් එක්ක අපිට පුළුවන් ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කරගන්න. මේකත් එක්ක අපිට පුළුවන් පුනරාවර්ථන වියදම් 9% සීමාව එලෙසම පවත්වාගනිමින් හෝ ඊට අඩුවුණත් අපිට ඒ වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් වෙන සීමාව වැඩි වෙනවා. ඒක තමයි රජයේ ඉලක්කය. ඒ නිසා තවත් දීමනා ලබා දෙන්නට හැකි නම් අපි ලබා දෙනවා. ඔක්කෝටම එක සැරේ දෙන්න බෑ.”


