ඩලස් – සජිත් ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී කී කතා

විපක්ෂය ත් ආණ්ඩු පක්ෂය ත් අතර ගොඩනැගුනේ මතවාදයක් පමණක් නොව සම්මුතිවාදයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග අද (ජූලි 19) ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, අද දිනය “සම්මුතියේ දිනය” ලෙස නම් කරන ලෙස ය.

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ අලහප්පෙරුම මහතා…

“බොහෝ වේලාවට දියවන්නාවෙන් වට වුණු පාර්ලිමේන්තු දූපතේ ඉන්න දූපත් වාසීන්ට තේරුම් ගන්න බැරි වුණා දුපතෙන් එළියේ ජනතාවගේ හඬ.

ඔවුන් ඉල්ලා සිටියේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා. මිනිසුන් වෙනුවෙන් එකතු වෙන්න කියලා. අන්න ඒ එකතුවයි මේ වෙලා තියෙන්නේ. බලලෝභීව නෙමෙයි.

මම කෘතඥය වෙනවා විපක්ෂ නායකතුමාට ඊයේ දවස වෙනකල් පක්ෂයක් විදියට තීන්දු අරගෙන තිබුණා එතුමාත් මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා.

මම එතුමාට ස්තූතිවන්ත වෙනවා. එතුමා විශාල කැපකිරීමක් කළා. ඒක කෘතවේදීත්වයේ කැපකිරීමක්. මට ඒ පිළිබඳ කියන්න කිසිදු චකිතයක් නෑ. මීට පසසේ අපි රටින් ඉල්ලන්නේ, පාර්ලිමේන්තුවේ මේ ලබාදුන් පරමාදර්ශය ජාතීන්, පක්ෂ ලෙස බෙදෙන්නේ නැතුව රටේ පරමාදර්ශය බවට පත්කර ගන්න. එහෙම නැතුව එක පක්ෂයකට, එක නායකයෙකුට මේ අර්බුදයෙන් රට ගොඩනගන්න බෑ. අන්න ඒ යථාර්ථයටයි අපි හිස නැමුවේ.

මේ රටේ ප්‍රශ්නවලින් මිනිස්සුන්ව මුදවා ගන්න ඕනේ කියන අධිෂ්ඨානය අද දවසේ ඇති කරගමු කියලා මම යෝජනා කරනවා. අද නාමයෝජනා භාරදුන්න අයටත් අපි ආරාධනා කරනවා. අපි කණ්ඩායම් ලෙස ජනතාවගේ හැඟීම් තේරුම් ගෙන සම්මුතියේ දිනය යථාවත් කරමු.”

Leave a Reply

Your email address will not be published.