රට ගොඩ ගන්න පුළුවන් නිවහල් අරගලයකින් පමණයි

රට වැටී තිබෙන මේ මහා අගාධයෙන් ගොඩ ඒමට හැකි වන්නේ නිදහස් නිවහල් අරගලයකින් පමණක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේය.

එහිදී ඒ මහතා මෙසේද කීවේය.

“මේ මොහොත වන විට අපේ රට ඛේදනීය තත්තවයකට පත් කර අවසන්. ලක්ෂ 220ක් අදූරදර්ශි මිත්‍යාව මත පදනම් වූ දර්ශනයක් නැති සරණාගතයන් බවට පත් කර තිබෙනවා. රටම දැවැන්ත වහල් භාවයකට ලක් ව තිබෙනවා. සත්‍ය අවබෝධ කරගෙන හෝ වර්තමාන පාලනය යන ගමන, ක්‍රමවේදයේ හෝ පාලනයේ ජනවාදී වෙනස් කම් සිදු කරේ නැහැ. රජයත් රජයට අනුබල දෙන සමහර කොටස් මිත්‍යාවාදී දේශපාලන රංගනයක නියැලෙමින් පත් වූ පක්ෂයේ සාමාජිකත්වය එහෙම්ම තියාගෙන පාර්ලිමේන්තු සංයුතියේ ආණ්ඩුව කවුද විපක්ෂය කවුද කියා සොයා ගැනීමට නොහැකි සේ කටයුතු කරනවා. ජනතාවට කුමනදේ වුවත් මේ අය තමන් වැජඹෙන අය ගැන සිතමින් තම ආරක්ෂාවට සුදුසු දොරටුපාලකයා පත් කරගෙන වසර දෙක හමාර මුළුල්ලේ රට විනාශ කළ කණ්ඩායමම තමන් ප්‍රතිනිර්මානය වී සිටින බව පෙන්වනවා. එහෙත් පෙට්‍රල් ඩීසල් ගෑස් කිරිපිටි, අත්‍යාවශ්‍ය ආහාර පොහොර කිසිවක් නොමැතිව ජනතාව අද අසරණ වෙලා. දස ලක්ෂයක් පමණ වන කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටෙන තුරු ආණ්ඩුව බලා සිටිනවා. අද මයිනෝ ගිරවෝ සැළලිහිනියෝ එකට එකතු වී වැඩේ කරන්න බැරි හේතු දක්වනවා. එහෙම කියන්න ආණ්ඩු කුමකටදැයි” හෙතෙම විමසා සිටියේය.

Leave a Reply

Your email address will not be published.