මම වැඩිය කැමති නොගැළපෙන දේවලට

You are here

නිවස » මම වැඩිය කැමති නොගැළපෙන දේවලට

මම වැඩිය කැමති නොගැළපෙන දේවලට

සසිකලා කදුබොඩආරච්චි

ජනප්‍රියත්වය රඳා පවතින්නේ කෙටි කාලයයි.

රටට යහපත් මාධ්‍යවේදියෙක් වෙන්න ඕනෙ කියලා හිතාගෙන ආවොත් ඉන්න පුළුවන් වෙයි

පාසලේ අක්කලා නිවේදන කටයුතු කරන දිහා ඉවසීමෙන් බලා සිටි ඇය ඉංග්‍රීසි නිවේදිකාවක් වන්නීය. යශෝධරා සහ අනුලා විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරූ ඇය ඉංග්‍රීසි සහ සිංහල භාෂාව හැසිරවීමේ දක්ෂ ශිෂ්‍යාවක් විය. ජීවිතේ ලැබූ සියලු අත්දැකීම් උපේක්ෂාවෙන් හා ඉවසීමෙන් දරාගෙන තම අධ්‍යාපන කටයුතු කරන ඇයගේ සිතේ මතුදා බලාපොරොත්තුවක් ඇති වන්නේ නිවේදිකාවක් විමේ අරමුණින් ජනමාධ්‍ය ලෝකෙට පිය මැනීමය. පියාත් මවත් රාජ්‍ය සේවයට සම්බන්ධ රැකියාවල නිරත වන පවුලේ ගැහැනු දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ දඟකාර කටකාර බඩපිස්සිය ඇයයි. පාසල් අධ්‍යාපනය නිමා වීමෙන් පසු පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවකට සම්බන්ධ වන ඇය පුහුණු නිවේදිකාවක ලෙස ජනමාධ්‍ය ලෝකයට පියමනින්නීය. ඒ අතරතුර විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඇතුළත් වෙයි. විවිධ ශානර ඔස්සේ ඇයගේ බලාපොරොත්තු ඉටු කර ගනියි. ඔබට ඉතාම ළෙන්ගතු ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් ද වෙයි. ඇය නමින් සසිකලා කදුබොඩආරච්චියි. මේ ප්‍රවෘත්ති නිවේදන කටයුතු පසකින් තබා ඇගේ සැඟවුණු රහස් ගැන සරසවියට පැවසුවේ මෙසේයි

ජිවිතය කොහොමද?

මම හොදින් ජීවත් වෙනවා. සියලු දෙනාම ගැළපෙන දේවල්වලටනෙ වැඩිය කැමති. මම නොගැළපෙන දේවල්වලටයි කැමති. මම පොළොවෙ පය ගහලා ඇවිදින්නේ. ඒ හින්දා ප්‍රශ්න අඩුයි. මගේ ලෝකෙ මට හීනයක් තිබුණ හින්දා තමයි මං අද මෙතෙන්ට ආවේ. මට ලැබෙන දේවල් ගැන මම සතුටු වෙනවා. නොලැබෙන දේවල් ගැන මම දුක් වෙන්නේ නෑ. එහෙම දුක් වුණොත් අපේ ගමන යන්න බැරි වෙනවා.

මේ ආපු ගමන් මඟ ගොඩනැගුවේ කවුද?

මම පාසල් යන කාලේ මම නිවේදන කටයුතුවලට හරිම ආසයි. ඒත් පාසලේ අනෙක් බාහිර වැඩ කටයුතු කළත් මට නිවේදන කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණේ කලාතුරකින්. ඊට පස්සේ මම මැක්ස්රේඩියෝ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවට සම්බන්ධ වුණා. එතැනින් මට රූපවාහිනි මහ ගෙදරට එන්න ලැබුණා. මෙතැනදී මට කැමරාවක් ඉදිරියේ හැසිරෙනවා විතරක් නෙවෙයි මාධ්‍ය ලෝකයේ දේවල් ඉගෙන ගන්න ලැබුණා. සසිකලා කෙනෙක් නිර්මාණය කළා නම් ඒ නම ජනප්‍රිය වුණේ රූපවාහිනිය නිසයි. මම අද මෙතැන ඉන්නේ ඒ නිසයි. මම ප්‍රවෘත්ති නිවේදන කටයුතු විතරක් නෙවෙයි වැඩසටහන් ද ඉදිරිපත් කළා. මෙතනදී මට උගන්නපු සියලු දෙනාට ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා .

රූපවාහිනී මහගෙදරින් ආරම්භ කළ ගමන අද කොතැනද ?

රූපවාහිනියෙන් හැදුණු මම ඉන් පස්සෙ ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වුණා. දැන් මම හිරු නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස නිදහස්ව කටයුතු කරනවා. එදා ඒ ලබපු පන්නරය මේ සියලු නාලිකාවල ඉන්න හැම දෙනාම අඩු වැඩි නැතිව එකතු වෙලා ඔපමට්ටම් කර ගොඩනැඟුවා. ඒක මගේ ජීවිතේ ලබපු භාග්‍යයක්.

හැම දෙනාම කියන්නේ තමන්ගේ ආරම්භය සිදුවෙන්නේ ගෙදරින් කියලා, සසිකලා කොහොමද ඒ ගැන කියන්නේ?

ඔබ කියන විදියට ඒක සත්‍යයි. මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි එකතු වෙලා කුඩා කා⁣ලේ එක ගමනක් යන්න සූදානම් වෙනවා. ඒත් අපි සියලු දෙනාම තරුණ බවට පැමිණුනාම ගමන් මාර්ගය වෙනස් වෙනවා. ගෙදරින් පටන් ගත්ත ගමන් මාර්ගය තමයි මම අද මේ වෙනස් කරගෙන තියෙන්නේ. ගෙදර ලැබුණු නිදහස නිසා තමයි අපි තුන්දෙනාම වෙනස් වෙනස් ගමන් මාර්ග වලින් ගියේ. ඒ ආරම්භ කරපු ගමන් මාර්ගය ගැන මම අද සතුටු වෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයත් සමඟ තියෙන සම්බන්ධතාවය මොකක්ද මේ දවස්වල?

පසුගිය දවස්වල මම ශ්‍රී පාලි මණ්ඩපයේ ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරුවා. ඒ නිසා නිතරම එහෙ යන්න එන්න වුණා විභාගය නම් කරලා ඉවරයි. දැන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නේ.

රැකියාවේ පූර්ණ කාලිනව රැඳී සිටින්නට කැමැත්තක් නෑ නේද ?

මම පූර්ණ කාලිනව රැඳී සිටින්නට කැමති නැහැ කියන් නෑ. අපිට ස්වාධීනව තීරණ අරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් නම් මම ගොඩක් කැමති මගේම කියලා දෙයක් කරන්න සංචාරක කර්මාන්තයට සම්බන්ධ පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා පවුලේ සියලු දෙනාම එකට එකතු වෙලා. ඒ ව්‍යාපාරය දියුණු කරගැනීම තමයි මගේ ඒකායන බලාපොරොත්තුව. කෝවිඩ් වසංගතයත් එක්ක රටේ ඇති වෙච්ච අස්ථාවරභාවය නිසා ව්‍යාපාර කටයුතු ඔක්කොම අඩාළ වුණා.

‍ව්‍යාපාර පැත්තට නැඹුරුව ඉදිද්දි ඇයි අහස – පොළොව අල්ලන්න වගේ මාධ්‍ය ලෝකය තෝරගන්නේ?

මම හැමවෙලේම හැම දේකම සම්බන්ධතාවයක් හොයන්න දඟලන්නේ නැහැ. කෙනකුට ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ දැනුම තිබෙන්න පුළුවන්, එකම ක්ෂේත්‍රයේ නියැළිලා වැඩකටයුතු කරනවට වැඩිය විවිධ ක්ෂේත්‍ර වල වැඩ කටයුතු කරද්දි ඒ ගැන හොඳ අධ්‍යයනයක් හා අවබෝධයක් එනවා.

ඒ දේ විවිධයි ඒකට මම කැමැතියි. මම සංචාරක කර්මාන්තයට සහ ජනමාධ්‍ය යන දෙකට එක ලෙස කැමතියි. මේ ක්ෂේත්‍ර දෙකේම දවසින් දවස ලැබෙන්නේ අලුත් අත්දැකීම් ඒක වෙනසක්.

සසිකලා කියන නමට රුපවාහිනි නාලිකා කතා කළාද සසිකලා ඒ ආයතන හොයාගෙන ගියාද?

ඔය ආකාර දෙකම සිදු වුණා. මට රැකියාවක් ඕන වුණ අවස්ථාවෙදි මම ආයතන සොයාගෙන ගිය අවස්ථා තියනවා. ආයතනවලට මාව ඕන උණාම මට කතා කරපු අවස්ථා ගොඩයි. ඔය හැම දෙයක්ම සමබරව සිදුවුණා.

වර්තමාන තරුණ පරම්පරාව සන්නිවේදන කලාවට යොමු වීම වැඩියි. මොකද ඒ ගැන කියන්නේ?

මේ එන සියලු දෙනාම වැඩි වශයෙන් ඉන්නෙ විද්‍යා හෝ ගණිතය අංශයෙන් එහෙමත් නැත්නම් වාණිජ විෂය ධාරාවෙන්. කලා අංශයෙන් උසස් පෙළ හදාරලා එන සංඛ්‍යාව අඩුයි. මම පාසල්වලට නිවේදන කටයුතු විනිශ්ච කරන්න යනවා එහිදී මට ගොඩක් හම්බෙලා තියෙන්නේ ගණිතය, විද්‍යාව, වාණිජ, අංශවල ඉන්න සිසුසිසුවියන්. ඔවුන් සියලු දෙනාම එන්නේ ජනප්‍රියත්වය බලාගෙන නිවේදකයකු හෝ නිවේදිකාවක් වෙන්න. මේ ක්ෂේත්‍රයේ මම දකින විදියට රැඳෙන්න ඕන නම් පැවැත්ම තියෙන්නේ අධ්‍යාපනයත් එක්ක සන්නිවේදන කලාව ඉගෙන ගෙන ආවොත් විතරයි. ජනප්‍රියත්වය බලාගෙන නිවේදකයකු හෝ නිවේදිකාවක් වෙන්න එනව නම් වැඩක් නෑ. ජනප්‍රියත්වය රඳා පවතින්නේ කෙටි කාලයයි. රටට යහපත් මාධ්‍යවේදියෙක් වෙන්න ඕනි කියලා හිතාගෙන ආවොත් ඉන්න පුළුවන් වෙයි.

නිවේදිකාවකගේ අනන්‍යතාවය මොනවගේ වියයුතුද ?

ප්‍රවෘත්ති නිවේදිකාවක් කවදාවත් ස්ටාර් එකක් වෙන්නෑ. එයා වෙනම ඡපචදඤ එකක්. මිනිස්සු ඔහු, ඇය දිහා බලන්නේ නළුවෙක් හෝ නිළියක්, මොඩ්ලර් කෙනෙක් දිහා බලන විදිහට නෙවෙයි. වෙනම අනන්‍යතාවක් තියාගෙන ඉන්න කෙනෙක් ලෙස යි. ඉදිරිපත් කිරීම තුළින් සමාජයට විශ්වසනීයත්වයක් එක්ක සමාජයට අවබෝධ කර දීමයි. ඕනම කෙනෙකුට නිවේදකයකු හෝ නිවේදිකාවක් වෙන්න පුළුවන්. ඒත් ප්‍රවෘත්ති පූරකයකු වෙන්න අමාරුයි.

ක්ෂේත්‍රයට එන පිරිස රඳාපැවත්ම උදෙසා මොන වගේ ගමනක්ද අපේක්ෂා කරන්නේ?

පියවරෙන් පියවරට එන්න ඕනේ. මම හිතනවා කට්ටක් කාලා ඒකෙ බර දරාගෙන ආවොත් තමයි මේ ක්ෂේත්‍රයේ රඳා පැවැත්මට තියන එකම පියවර. එහෙම ආපු නැති සියලු දෙනාම බැලුම් බෝල වගේ පිපිරිලා යනවා .

මාධ්‍ය ලෝකයට එන්න බහුතරය පොර කනවා ඒත් සුළුතරයකට විතරයි මෙතැනට එන්න පුළුවන් වෙන්නේ. රැඳීල ඉන්න සියලු දෙනාම ඒක තේරුම් ගත යුතුයි. එයට හරියන සුදුසුකම් ද සකසා ගත යුතුයි.

ජීවිතේ ලැබෙන නොලැබෙන දේවල් ගැන මොකද හිතෙන්නේ ?

ජීවිතේට ආදරෙයි. ලැබෙන අත්දැකීම් විවිධාකාරයි. ඒව දරාගන්න මුහුණදෙන්න, තමන්ට ලැබෙන දේ ගැන සතුටු වෙන්න ඕන තමන්ගෙන් ඉවත් වෙන දේ ගැන නොලැබෙන දේ ගැන දුක් වෙලා වැඩක් නෑ. මම නොලැබීම තුළ දුක් වෙන්නෑ. මම එවිට හිතන්නේ මේ දේ වෙන්නේ හොඳට කියලායි. මම හැම වෙලේම හිතන්නේ එයින් ජය පරාජය, සතුට දුක සම සිතින් විඳ ගන්න පුළුවන් නම් මම හිතනවා එතැන සාර්ථක ජීවිතයක ජයග්‍රහණයක් තියෙනවා කියලා. තමන් බලාපොරොත්තු වන දේ ලැබෙන්නේ නැත්නම් එතැනට යන්ඩ බැරි නම් හොඳම දේ එතනින් නවතින එකයි. මේ තරඟකාරී ලෝකය මුදල මත සතුට රඳා පවතින්නේ කියලා ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඒ සියලු දෙනාටම වැරදුණේ අන්න එතනයි. මම දැකලා තියෙනවා ප්‍රාඩෝ ඇතුළේ බෙන්ස් ඇතුළේ මහා මන්දිරවල මිනිස්සු අඬනවා ඒ සියලු දෙනාගේම සතුටක් නැතුව. එන්න එන්නම ආයු කාලය කෙටි වෙනවා. කවුරුත් අවුරුදු සියයකට එහා ජීවත් වෙන්නේ නෑ ලැබෙන දෙයින් උපරිම සතුටු වෙන්න ඕන .සතුට රඳා පවතින්නේ මුදල් මත නොවන බව තේරුම් අරගෙනයි මම ජීවත් වෙන්නේ.

ජිවිතය තනියම සතුටු වෙන්නැතුව බෙදාගන්න කැමති නැද්ද ?

සතුට බෙදා ගන්නකොට ජීවිත කාලෙම පූර්ණ අවබෝධයක් ඇතුව සතුට බෙදාගන්න ඕනේ. සියයට සීයක් ගැළපෙන මිනිස්සු ඉන්නවා කියලා මම හිතන්නේ නැ. සියට50 ක් සියට 25ක් ගැළපෙන අය කියලාත් මට නම් කියන්න අමාරුයි. මම කැමැති නොගැළපෙන මිනිස්සුන්ටයි. මම වගේ ගතිගුණ තියන මම වගේ හිතන පතන කෙනෙකුට මම කැමති නෑ. පූර්ණ වෙනස් කෙනෙකුට තමයි මම කැමතියි. මගේ ජීවිතයට ගැළපීම අවශ්‍ය නෑ. ගැළපීම් තියන්න පුළුවන් එකම අම්මගේ දරුවන්ට අදහස්වලින් පමණයි. ඒත් වෙනත් අම්මා හා තාත්තා කෙනෙක්ගේ දරුවන්ට ගැළපීම් නෑ. ඔවුන් ජීවත් වන පරිසරය ඒ පරිසරයට අනුගත වෙලා ඉන්න ඒ ආකාරයටමයි මම කැමතියි. ඔහුගේ ඇඳුම් පැලඳුම්, ගමන විලාසය, හැසිරීම වෙනස් කරන්න මට අවශ්‍ය නෑ. මේ තුළ බෙදා හදා ගන්න දෙයක් තියෙනවා විවිධත්වයක් හා වෙනසක් තියෙනවා. මම හොයන්නේ ඒ නොගැළපීම තුළ ජය ගන්න කෙනෙක්වයි.

සරසවිය

Leave a Reply

Your email address will not be published.