වැරැදි හදාගෙන දෙවැනි තරගය සාර්ථක කරන්නම් – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න

ටෙස්ට් තරගයක ජය පරාජය තීරණය වන්නේ ක්‍රීඩාංගණය අනුව නොව ක්‍රීඩා කරන විලාශය අනුව බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

ගාල්ල ක්‍රිකට් පිටිය බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකාවට වාසිදායක තැනක් වුවද පළමු ටෙස්ට් තරගයේදී ක්‍රීඩා කළ ආකාරය වැරැදි බව හෙතෙම පිළිගත්තේය. සිදු වූ සියලු වැරැදි අඩුපාඩු හදාගෙන ඊළඟ ටෙස්ට් තරගය සාර්ථක කර ගැනීමට ක්‍රියාකරන බව කරුණාරත්න පොරොන්දු වුවේය. සංචාරක ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ක්‍රිකට් පිටියේ පැවති පළමු ටෙස්ට් තරගය තෙවැනි දින දිවා විවේකය වෙද්දී ඔස්ට්‍රේලියාව කඩුලු 10කින් ජය ගෙන තරග දෙකකින් සමන්විත වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේදී ඔස්ට්‍රේලියාව 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය. එම ටෙස්ට් තරගයෙන් අනතුරුව දිමුත් කරුණාරත්න මාධ්‍ය අමතමින් පරාජය පිළිබඳ දැඩි ලෙස කනගාටුව පළ කළේය.

“ගාලු තණතිල්ලට දොස් කියන්න නරකයි. පිතිකරුවන් ලෙස කණ්ඩායම සම්පූර්ණයෙන් අසාර්ථක වුණා. සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායම ගාල්ලට ඇවිත් ලකුණු 300ක් ගැහුවා නම් අපට එවැනි ලකුණු ගණනක් ගහන්න බැරි වුණේ ඇයි කියන ප්‍රශ්නය තියෙනවා. පළමු දවසේ අපිත් ලකුණු 300ක් පසු කළ යුතුව තිබුණා. පළමු ඉනිමේ වැඩි ලකුණු ගණනකට යන්න තිබුණා. පීඩනය ඔවුන් තුළට දාන්න අපට ඕන වුණේ. නමුත් අපේ ඔප්ෂන් වැරදුණා. නායකයකු ලෙස කනගාටුවක් තියෙනවා. ක්‍රීඩා කරපු විදිහ පිළිබඳ” දිමුත් පැවසීය.

“දෙවැනි ඉනිමේ බ්ලොක් කර ගෙන ඉන්න බැරි බව අප දැන ගත්තා. ඒ නිසා ඔවුන්ට ප්‍රහාර එල්ල කොට ඉලක්කය වෙනස් කරන්න බැලුවා. නේදන් ලියෝන්ට ගහලා එළියට දාන්න මට ඕන වෙලා තිබුණේ. ඒ අයගේ ඇටෑකින් ෆීල්ඩ් එක අයින් කරන්න අප කල්පනා කළා. කවුරුත් කැමැති නෑ අඩුවෙන් අවුට් වෙලා එන්න. නමුත් කාටත් මේ තරගයේදී සාර්ථක වෙන්න බැරි වුණා” ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා සඳහන් කළේය.

දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේදී ලකුණු 23කට දැවී ගියේ ලියෝන්ගේ පන්දුවකට ස්විප් පහරක් එල්ල කිරීමට යෑමෙනි. එමෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවෝ සිව්දෙනකු දෙවැනි ඉනිමේදී ස්විප් පහරින් දැවී ගියහ.

“ස්විප් පහර එල්ල කරන්න ගොඩක් හොඳ තාක්ෂණයක් තියෙන්න ඕනේ. දික්වැල්ල පහරදෙන ආකාරය ගැන ඔහු මට කියා තියෙනවා. ස්විප් එක රිවර්ස් ස්විප් එක අපි නෙට් එකේ ප්‍රැක්ටිස් කරනවා. උඩ යන්නේ නැතිව ගහන්න අවශ්‍යයි. ඔස්ට්‍රේලියා පන්දු රකින්නන් යොදා තිබූ ආකාරයට ඔවුන් වෙනස් කරන්න උවමනා වුණා. ඒකයි ස්විප් පහරට ගියේ. ඒත් එය වැරදුණා” දිමුත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.