ඉන්ධන ගන්න වවුනියාව දිසාපතිගෙන් ටොප් ‘ඇප්’ එකක් කිසි රස්තියාදුවක් නෑ

මේ දිනවල රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුකොටගෙන විවිධ අංශවල රාජ්‍ය නිලධාරීන් හා සිවිල් වැසියන් ඉන්ධන ගැනීමට දින ගනන් පෝලිම්වල ගත කිරීමෙන් වළකා ගැනීමට වවුනියාවේ නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ. වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ.චන්ද්‍රසිරි මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයන්හට තමන් රාජකාරි කරන ආයතනවල ආයතන ප්‍රධානීන් මාර්ගයෙන් 2023 වර්ෂය දක්වා ඉන්ධන ගැනීමට හැකිවන පරිදි ටෝකන් පත්‍රයක් දී ඇත. මෙමගින් සතියකට දිනක් ඉන්ධන ගැනීමේ හැකියාව පවතින අතර, සිකුරාදා දිනය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ද අනෙකුත් කාර්ය මණ්ඩලවලට ද දින වෙන් කර තිබේ. මෙම දිනවලදී පිරවුම්හල් වෙත ඉන්ධන ලැබී නොතිබුනොත් ඊළඟ ඉන්ධන ගන්නා අවස්ථාවේ ස්මාර්ට් ජංගම දුරකථනයකින් වාහන අංකය ස්කෑන් කර ලියාපදිංචි කරන අතර, ඉන්ධන ගත් වාහනය එම සතිය තුළ වෙනත් ඉන්ධන පිරවුම්හලකින් හෝ ඉන්ධන ගැනීමට යාමේදී එම වාහනය මීට පෙර ඉන්ධන ගත් බවට පෙන්නුම් කරයි.

අනෙකුත් සිවිල් ජනතාවට ද ඉන්ධන, පිරවුම්හල් වෙත ලැබෙන අවස්ථාවේදී ආරක්ෂක අංශ හා පොලිසියේ මැදිහත්වීම මත ටෝකන් පත්‍රයක් දී ඉන්ධන නිකුත් කරනු ලබයි. සිවිල් වැසියන්ගේ වාහන ද ලියාපදිංචි වන බැවින් සතියකට එක් වතාවක් පමණක් ඉන්ධන ගැනීමට හැකියාව තිබේ. මේ ක්‍රියාදාමය හේතුවෙන් ඉන්ධන ගත් අය නැවත සතියක් ගතවනතුරු ඉන්ධන ගැනීමට නොපැමිණෙන නිසා පිරවුම්හල්වල තදබදය බෙහෙවින් අඩුවී ඇති බව පෙනීයයි. වන්නි ආඥාපතිවරයා ඇතුළු යුද හමුදාවත්, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් මෙම කාර්යයට ඍජු දායකත්වය දෙයි.

Leave a Reply

Your email address will not be published.