දින 4කට කොවිඩ් මරණයක් කොවිඩ් අවදානම ඉහළ යමින් පවතිනවා – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

පසුගිය කාලය පුරාවට කොවිඩ් මරණ වාර්තා නොවුණ ද, මේ දිනයන්හි දින තුන හතරකට වරක් කොවිඩ් මරණයක් වාර්තා වන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිනමිණ‘ට ඊයේ (05) ප්‍රකාශ කළේය.

කොවිඩ් ආසාදිතව අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටින රෝගීන් කිහිප දෙනකු දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ගන්නා බවත් ඔවුන්ගෙන් ඇතැම් රෝගීන් සුවපත් වන අතර ඇතැමුන් සංකූලතා හේතුවෙන් මරණයට පත් වන බවත් ඒ මහතා පැවසුවේය.

ඔමික්‍රෝන් කොවිඩ් වයිරස් ප්‍රභේදය ලෝකයේ රටවල ව්‍යාප්ත වීමට මේ වන විට ආරම්භ වී ඇති බවත් ගෝලීය වසංගතයක් නිසා කුමන හෝ අවස්ථාවක මෙරටට ද වයිරසය පැමිණීමේ අවදානමක් පවතින බවත් ඔහු කීය.

කොවිඩ් දෙවැනි බූස්ටර් එන්නත හෙවත් සිව්වැනි කොවිඩ් එන්නත මේ මාසය තුළ ගැනීමට ජනතාව පියවර ගත යුතු බවත් එසේ ගතහොත් තවත් මාස හයකට වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා පුද්ගලයාට ප්‍රතිශක්තියක් ලැබෙන බවත් ඒ මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.