මාස හයෙන් අනුරට රට ගොඩගන්න හැකි නම් අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට මාස හයක් ඇතුළත ආර්ථිකය ගොඩ ගැනීමට හැකි නම් ඔහුට එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩ දී තමන් අගමැති ධූරයෙන් ඉවත් වීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැති මණ්ඩලයත් ඉවත්වී අනුර දිසානායක මහතා අගමැති ධුරයට පත්කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද අගමැතිවරයා කීවේය.

එම නිසා පාරට බැහැලා පෙළපාළි යන්න වුවමනාවක් නොමැති බවත් කළ යුත්තේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වී අපි මේ වැඩසටහන වාද විවාද කිරීම පමණක් බවත් හෙතෙම පැවසීය.

දිසානායක මන්ත්‍රීවරයගෙන් එම සැලැස්ම ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින අතර එසේ ජනාධිපතිවරයා ළඟට යෑමට අකමැති නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කරමු යැය අගමැතිවරයා කියා සිටියේය.

එම වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක කරන සැලැස්මට වඩා යහපත් සහ ප්‍රතිඵලදායි වැඩපිළිවෙළක් නම් අපි එය ක්‍රියාත්මක කරමු යැයි ඉල්ලා සිටි අගමැතිවරයා එවැනි සැලැස්මක් ආර්ථිකය පිළිබඳ නොබෙල් ත්‍යාග ලැබීමට තරම් විශිෂ්ට එකක් වන බව ප්‍රකාශ කළේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය. ‘තමන්ට බාර දුන්නොත් මාස හයකින් රට යථා තත්ත්වයකට පත්කරන බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඇත්තෙන්ම එසේ කළහැකි නම් එය ඉතා යහපත් වැඩක්. සෘණ හයක් හතක් දක්වා ආර්ථික වර්ධන වේගය ඇඳ වැටුණු රටක් මාස හයක් තුළ ධන ආර්ථික වර්ධන වේගයක් දක්වා ගෙන යාම මෙතෙක් ලෝකයේ කිසිම රටක සිදුවී නැති ක්‍රියාවක්. හැබැයි මෙතෙක් එහෙම වෙලා නෑ කියා අපිට අනුර කුමාර දිසානායක මහතාගේ අදහස බැහැර කරන්න බැහැ. මාස හයක් තුළ රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක් එතුමා ළඟ තියෙනවා නම් ඉතා හොඳයි. එවැනි සැලැස්මකින් කෙටි කාලයක් තුළ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට අපට හැකි වෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකයටත් කදිම පූර්වාදර්ශයක් වෙනවා.

2023 වසර වන විට සෘණ එකක ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වේවි. අයි.එම්.එෆ් සංඛ්‍යා ලේඛන අනුව මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ හයක්, හතක් අතර අගයක් ගනු ලබනවා. එය 2023 වසර අවසාන වන විට සෘණ එකක මට්ටමකට ගෙන ඒම සඳහා රජය ඉදිරිපත් කරන මාර්ග සිතියමෙහි ගමන් කිරීම වැදගත්.

එලෙසම 2025 වසර වන ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් ඇති කර ගැනීම හා ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නංවා ගැනීම රජයේ උත්සාහය. 2026 වන විට ස්ථාවර ආර්ථික පදනමක් ඇති රටක් බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීම රජයේ අභිලාසයයි.

Leave a Reply

Your email address will not be published.