ස්විට්සර්ලන්ත බඩුවල වටිනාකම රු. ලක්ෂ 50ක් සුගතදාස ධාවන පථයේ ඇලුමිනියම් පටි ‘කුඩ්ඩෝ’උස්සලා

කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ කෘත්‍රීම ධාවන පථයේ ඇලුමිනියම් සීමා පටියේ (Aluminum Track Curb) කොටස් කිහිපයක් සොරුන් ගලවාගෙන ගොස් ඇත. ස්විට්සර්ලන්තයෙන් ආනයනය කළ ලක්ෂ 50ක් පමණ වටිනා කෘත්‍රීම ධාවන පථයේ ඇලුමිනියම් සීමා පටි කොටස් මෙසේ සොරකම් කොට ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ ‘කුඩ්ඩන්‘ බවට සැකයක් පවතී.

සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණය වටා ඇති තාප්පය වසරකට අධික කාලයක් තිස්සේ කඩා දමා ඇති බැවින් සොරුන්ට ක්‍රීඩාංගණයට පිවිසීමේ පහසු අවස්ථාවක් උදාවී ඇති තත්ත්වයක් තුළ මෙම සොරකම සිදුවන්නට ඇතැයි පැවැසේ. තාප්පය අලුත්වැඩියා කිරීම භාරගත් කොන්ත්‍රාත්කරු හා සුගතදාස අධිකාරියේ ඉහළම බලධාරියෙකු අතර ඇතිවූ මතභේදයක් දුරදිග යෑම හේතුවෙන් අදාළ කොන්ත්‍රාත්කරු ව්‍යාපෘතිය අතරමග දමා ගොස් ඇති අතර මේ තත්ත්වය මත ක්‍රීඩාංගණයේ අනෙකුත් වටිනා ක්‍රීඩා භාණ්ඩ ද අනාරක්ෂිතවී තිබේ.

මෙම තාප්පය අලුත් වැඩියාව සදහා වසර 2021දී ඇස්තමේන්තු සකස් කොට ඇති අතර ඒ සදහා අවශ්‍ය මුදල් සුගතදාස අධිකාරිය වෙත ලබාදී ඇතැයි වාර්තා වේ. එහෙත් මේ දක්වා මෙම ව්‍යාපෘතිය සම්පූර්ණවී නැත.

සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ කෘත්‍රීම ධාවන පථයේ ඇලුමිනියම් සීමා පටිය නිසි ලෙස සම්පූර්ණවී නොමැති පසුබිමක එහි කිසිදු අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීමට නොහැකි වනු ඇත. ධාවන පථයේ ඇලුමිනියම් සීමා පටිය ලෝක මලල ක්‍රීඩා සංගමය නිර්දේශිත අත්‍යාවශ්‍ය උපාංගයක්වන අතර එම කොටස් නොමැතිව පවත්වන අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලියට පිළිගැනීමක් නැත.

වසර 4කට පෙර රුපියල් ලක්ෂ 241ක් වැය කොට නවීකරණය කළ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ කෘත්‍රීම ධාවන පථයේ තැන තැන පතුරු ගැලවීයෑම හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනතුරුදායක තත්ත්වයක් උදාවී ඇති බවත්, කෘත්‍රීම ධාවන පථයේ දුර පැනීමේ ඉසව්ව සදහා භාවිතා කරන කොටසේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වේගයෙන් දුවගොස් පාදය තබා පැනීමට අවශ්‍ය උපරිම ජවය ගන්නා ස්ථානය කැඩී යෑමෙන් මෙම අනතුරුදායක තත්ත්වය වඩාත් බරපතලවී ඇත.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මේ පිළිබදව වහාම අවධානය යොමු කරමින් සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රීම ධාවන පථයේ පතුරු ගැලවී ඇති ස්ථාන නවීකරණය කිරීමට සති දෙකක කාලයක් නිලධාරීන්ට ලබා දුන්නද එය මේ වනතුරු ඉටුවී නැත.

Leave a Reply

Your email address will not be published.