මේ චිත්‍රපටයේ රඟපෑමත් ‘ගේම්’එකක් තමයි – -චතු රාජපක්ෂ

ඉන්දියාවේ ශාරුක් ඛාන් වගේ තමයි ලංකාවේ අපිට රන්ජන් රාමනායක

සැබෑ ජීවිතයේ චතූ කියන්නෙත් ටිකක් දඟකාර කටකාර කෙනෙක්

අරුණ සමරජීව නිෂ්පාදනය කළ ‘ද ගේම්’ සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ පස්වැනි චිත්‍රපටයයි. ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන් රැසකගේ දායකත්වයෙන් නිර්මාණය වූ ‘ද ගේම්’ පසුගිය දා තිරගත විය. එහි ප්‍රධාන චරිතය වූ රන්ජන් රාමනායකගේ, නැඟණියට රංගනයෙන් දායක වන්නි චතු රාජපක්ෂයි.

සිරස ෆිල්ම් ස්ටාර් මඟින් කරළියට එන චතූ රාජපක්ෂ ඉන් අනතුරුව ඔබ දකින්නේ ප්‍රවෘත්ති නිවේදිකාවක් හැටියටය. අද ඇය සිනමා නිළියක්. ‘ද ගේම්’ ඔස්සේ ඔබ හමුවට එන චතූ

‘ද ගේම්’ නිසා කා අතරත් කතා බහ වෙන චරිතයක් වෙලා…

මම ටෙලි නාට්‍ය කිහිපයකට වගේම සිනමා නිර්මාණ කිහිපයකට මින් පෙර දායක වෙලා තියෙනවා. නමුත් මේ සිනමා නිර්මාණය හරිම සුවිශේෂියි. මොකද මෙහි ප්‍රධාන චරිතය රන්ජන් රාමනායක. ඔහු නිසාමයි මෙය තිරගත වෙන්න කලින්ම හිට් වුණේ. ඔහුත් එක්ක රංගනයේ යෙදෙනවා කියන්නෙම තරමක හෝ ජනපි‍්‍රයත්වයක් ලැබෙන්න හේතුවක් නේ.

‘ද ගේම්’ ඔබටත් එක්තරා විදිහක ගේම් එකක් වෙන්න ඇති

ඇත්තෙන්ම ඔව්. මොකද සිනමාවේ මෙවැනි දැවැන්තයින් සමඟ කිට්ටුවෙන් ඇසුරු කරන්න ලැබුණු අවස්ථාවක්. ඔවුන් එක්ක බලද්දී මම ක්ෂේත්‍රයට තවම නවකයි. ඒ වගේ දැවැන්තයින් පිරිසක් එක්ක වැඩ කරනවා කියන්නෙත් එක්තරා විදිහක ගේම් එකක් තමයි.

ඔබට මේ ආරාධනය කරන්නේ කවුද?

‘ද ගේම්’ සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නේ සුරංග ද අල්විස් මහත්මයා. ඔහුයි මේ චිත්‍රපටයට මට ආරාධනා කරන්නේ. මින් පෙරත් මා ඔහුගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙලා තියෙනවා. ‘කිඩ්නැප්’ කියලා. නමුත් තාම එය තිරගත වුණේ නැහැ. ඔහු කතා කරලා කිව්වා මේ විදිහේ ෆිල්ම් එකක ප්‍රධාන චරිතයට මාව තෝරගෙන තියෙනවා කියලා. ඉතිං මං හරිම සතුටින් තමයි මේ නිර්මාණය බාර ගත්තේ.

ඔබට ලැබුණු චරිතය ගැන කතා කළොත්

ලැබුණු චරිතය චතූ නානායක්කාර, ඇය හුරු බුහුටි දඟකාර තරුණියක්. රන්ජන් රාමනායකගේ නැඟණිය විදිහට තමයි මම රංගනයේ යෙදෙන්නේ. ඇයට පෙම්වතෙක් ඉන්නවා. පෙම්වතා එක්ක ඉක්මනින් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් සිටින තරුණියක් ඇය.

සිනමාපටයේ චතූයි සැබෑ ජිවිතයේ චතූයි දෙන්නෙක් ද? එක්කෙනෙක් ද?

සැබෑ ජීවිතයේ චතූ කියන්නෙත් ටිකක් දඟකාර කටකාර කෙනෙක්. ඇත්තටම මගේ ජීවිතය තුළ ඇති යම් යම් දේවලුත් මේ චරිතයට එකතු කළා. හිතලා බැලුවොත් ඒ දෙන්නම එක්නෙක් කියලා කියන්නත් පුළුවන්.

‘ද ගේම්’ කුමක් පාදක කරගනිමින් දිවෙන චිත්‍රපටයක් ද?

ගොඩක් අය හිතනවා සුරංග ද අල්විස් කියන්නේ හාස්‍යජනක චිත්‍රපට විතරක් කරන කෙනෙක් කියලා. නමුත් මේ ෆිල්ම් එකේ අන්තර්ගත වෙලා තියෙන්නේ හාස්‍යජනක කොටස්ම විතරක් නෙවෙයි. දුක, වේදනාව, දරාගැනීම වගේ සියල්ලම අන්තර්ගත වුණු චිත්‍රපටියක් මේක. ‘ද ගේම්’ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව ගොඩනැඟුණු කතාවක්. මිනිසුන්ට නිවුස් එකකින්වත් එළියට දෙන්න බැරිවුණු කරුණු ගොඩක් චිත්‍රපටය හරහා සමාජයට ලබා දෙන්න සුරංග ද අල්විස් උත්සාහ කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරය තවමත් ආන්දෝලනාත්මක සිදුවීමක්. ඒ නිසා පේ‍්‍රක්ෂක ජනතාවට ලොකු උනන්දුවක් තියෙනවා මේ සිනමා පටය ගැන.

මේ සිනමා පටය ඔබට මොන වගේ අත්දැකීමක් ද?

මෙතැනදී මට ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක තමයි කටයුතු කරන්න ලැබුණේ. රන්ජන් අයියත් එක්ක කාලය ගත කළ හැම තැනකදීම හොඳට හිනාවෙලා සතුටින් හිටියා. පුංචි කාලේ ඉඳලම අපි රිදි තිරයේ දකින්න ආසාවෙන් හිටපු චරිතයක් තමයි රන්ජන් අයියා. ඉතිං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙවැනි සිනමා දැවැන්තයෙක් සමඟ රංගනයේ යෙදෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඉන්දියාවේ ශාරුක් ඛාන් වගේ තමයි ලංකාවේ අපිට රන්ජන් රාමනායක. ඉතිං මේ ලැබුණු අවස්ථාව ගැන මට පුංචි ආඩම්බරයකුත් දැනෙනවා.

ලැබෙන පේ‍්‍රක්ෂක ප්‍රතිචාර කොහොමද?

සාමාන්‍යයෙන් සිනමා පටයකට ප්‍රතිචාර ලැබෙන්නේ තිරගත වුණාට පසුවයි. නමුත් මේ සිනමා නිර්මාණයේ විශේෂත්වය තමයි චිත්‍රපටය තිරගත වෙන්න කලින්ම හිට් වෙලා තිබීම. චිත්‍රපටයක් තිරගත වෙන්න කලින් එහි ගීත දෙකක් සහ ෆොටෝෂුට් එකක් ප්‍රසිද්ධ කළා. ඒවාට හිතාගන්න බැරිතරම් ප්‍රතිචාර ලැබුණා. ඒවගේම චිත්‍රපටය තිරගත වුණ දවසේ ඉඳන් ලැබෙන ප්‍රතිචාර බොහොමයි. ඉතිං අපේ පේ‍්‍රක්ෂකයන්ට මේ සිනමා නිර්මාණය රසවිඳින්න කියලා මම ආරාධනා කරනවා. පේ‍්‍රක්ෂකයින් මෙය ආදරයෙන් වැලඳගනිවී කියලා මම හිතනවා.

Leave a Reply

Your email address will not be published.