‘නයිට් රයිඩර්’ 22 සිට තිරයේ…!(video)

සෑම වසරකදීම ලාංකීය සිනමාවට විවිධ ශානරයේ සිනමාපට එකතු වනවා. ක්‍රියාදාම චිත්‍රපට, ඵෙතිහාසික කතා පුවත්, චරිතාපදාන, ප්‍රේම කතා ආදිය ඊට ඇතුළත්. කෝවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාස කිහිපයක කාලය මෙරට සිනමාවට දැඩි බලපෑමක් එල්ල කළත් මෙරට සිනමාවේ සුපුරුදු රිද්මයට නැවතත් ළඟා වෙමින් සිටිනවා. 2021 වසරට සාපේක්ෂව මේ වසර මුල සිටම දේශීය සිනමාපට නිකුත් වීමත්, ගෝලීය ජනප්‍රියත්වයක් හිමි විදේශීය චිත්‍රපට කිහිපයක්ම මෙරට ප්‍රදර්ශනය ඇරඹීමත් නිසා සිනමා රසිකයින් බොහෝ දෙනෙකු නැවතත් සිනමාශාලාවට ඇදෙන අයුරකුත් දක්නට ලැබෙනවා.

අශෝක හඳගමගේ ඇල්බොරාදා, එරංග සේනාරත්නගේ මොනාලිසා, තේජා ඉද්දමල්ගොඩගේ ආශාවරී, සුරංග ද අල්විස්ගේ The Game ආදී ලාංකීය සිනමාපට ගණනාවක්ම මෙම වසර මුල සිට මෙරට සිනමා හල්වලට නිකුත් වුනා. එම නිර්මාණවලට පසුව මෙරට සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිත නවතම ලාංකීය චිත්‍රපටය  කසුන් චන්ද්‍රනාත් පතිරණ අධ්‍යක්ෂණය කළ නයිට් රයිඩර් (Night Rider) චිත්‍රපටයයි.

තරුණයෙකුගේ වීර චාරිකාව 'නයිට් රයිඩර්' 22  සිට තිරයේ...!

Thriller ශානරයට අයත් වන මෙම සිනමා නිර්මාණය, එළඹෙන ජූලි 22 වනදා සිට දිවයින පුරා තිරගත වීමට නියමිතයි. මෙය කසුන් චන්ද්‍රනාත් පතිරණගේ පළමු වෘතාන්ත – සිනමා අධ්‍යක්ෂණය වන අතර චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය කරන්නේ කළණ ගුණසේකර හා යුරේනි නොෂිකා විසිනුයි. ඊට අමතරව ඩබ්ලිව්. ජයසිරි, බිමල් ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා,  දමයන්ති ෆොන්සේකා, තුමිඳු දොඩම්තැන්න, අරුණි මෙන්ඩිස්  සහ ආනන්ද කුමාර උන්නැහේ වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් පිරිසක් නයිට් රයිඩර් (Night Rider) හි සෙසු චරිත සඳහා රංගන දායකත්වය ලබාදෙනවා.

චිත්‍රපටයේ කතා තේමාව ගොඩ නැඟෙන්නේ කොළඹ නගරයේ කුලී රථ රියදුරෙකුට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාවක් වටායි. එක්තරා රාත්‍රියකදී ඔහුගේ රථයට ගොඩවන මාධ්‍යවේදිනියක හා ඇය පසුපස හඹාගෙන එන දේශපාලන මැර කල්ලියක් නිසා මෙම කුලී රථ රියදුරා හට විවිධ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකට මුහුණ දීමට සිදුවනවා.දේශපාලන මැරයින්ගෙන් පළා යමින්, මෙම අනතුරෙන් බේරීමට උත්සාහ දරන මාධ්‍යවේදිනිය සහ කුලී රථ රියදුරාගේ කතාව එතැන් සිට නයිට් රයිඩර් (Night Rider) හි දිග හැරෙනවා.

පහත සබැඳියෙන් ඔබට චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමට හැකියි.

තරුණයෙකුගේ වීර චාරිකාව 'නයිට් රයිඩර්' 22  සිට තිරයේ...!

අධ්‍යක්ෂණයට අමතරව, ශ්‍රීනාත් චතුරංග හා එක්ව චිත්‍රපටයේ කතාව – දෙබස් සහ තිර පිටපත රචනා කර තිබෙන්නේ ද කසුන් චන්ද්‍රනාත් පතිරණයි. සංගීතය අජිත් කුමාරසිරි විසිනි. කලා අධ්‍යක්ෂණයෙන් චරිත වික්‍රමතිලක ද වේශ නිරූපණයෙන් ශාලිත ගුණවර්ධන ද මීට එක්ව තිබෙනවා. නයිට් රයිඩර් (Night Rider) හි කැමරා අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කර තිබෙන්නේ ඉගිල්ලෙන මාලුවෝ, මෝටර් බයිසිකල්, රහස් කියන කඳු ඇතුළු නිර්මාණ ගණනාවක කැමරාව හැසිරවූ විශ්වජිත් කරුණාරත්නයි. තරිඳු දේශප්‍රිය නිෂ්පාදන කළමනාකරණයෙන් සහ රොනිත් අධිකාරී රේඛීය නිෂ්පාදනයෙන් එක්ව තිබෙනවා.

සංස්කරණය ලක්රුවන් ද සේරම් විසිනි. ඔහු මීට පෙර ‘කාල’ චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා ලෙසත් කටයුතු කළා. වර්ණ සංයෝජනය මාලින්ද සම්පත්ගෙනි. නයිට් රයිඩර් (Night Rider) චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා චාමර චින්තක සේලාරයි. ශබ්ද පරිපාලනයෙන් ආශා රාජපක්ෂ ද, සටන් අධ්‍යක්ෂණයෙන් ඔසඳ සම්පත් සහ සමන් බණ්ඩාර ද එක්ව තිබෙන අතර චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය චරිත් ගමගේ විසිනි. පරිගණක දෘශ්‍ය නිර්මාණ කටයුතු සිදු කොට ඇත්තේ දිමුතු රූපසිංහ යි.

මෙහි දර්ශන අතිබහුතරයක් රාත්‍රි කාලයේ සිදුවීම් මත ගොඩ නැඟී තිබෙන අතර චිත්‍රපටයේ තිර පිටපත දිවෙන්නේ ඒකාකාරී පැය 24ක් තුළ සිදුවන සිද්ධි දාමයක් ඔස්සේයි. එම හේතුව නිසා දිගින් දිගටම රාත්‍රීන් ගණනාවක් පුරා චිත්‍රපටය රූපගත කරන්නට අධ්‍යක්ෂකවරයා ප්‍රමුඛ නිෂ්පාදන කණ්ඩායමට සිදු වී තිබෙනවා.
නයිට් රයිඩර් (Night Rider) යනු ’80 දශකයේ සිනමාව සහ එම සිනමා සංස්කෘතියට තමන් දක්වන ඇල්ම නිසාම සිදු කළ උත්සාහයක් බවයි අධ්‍යක්ෂක කසුන් පතිරණ පවසන්නේ.

“අපේ යාලුවො සෙට් එකක් හිටියා කාලයක් තිස්සේ ෆිල්ම් ගැන කතා කර කර.. ඒ ගැන උණක් තිබුනු… ඒ සෙට් එකට ඕනෙ වුනා පොඩි වැඩක් කරන්න.
80 දශකයේ සිනමාවේ අපි ලව් කරපු කෑල්ලක් තිබුනා ත්‍රාසය – භීතිය – කුතුහලය තියෙන, Action – Suspense තියෙන ෆිල්ම් ටෙලි ඩ්‍රාමාස් ගැන. ඒ පොඩි නොස්ටැලජික් එක ඊට පස්සේ අපිට හම්බුනේ නැහැ ලංකාවේ කන්ටෙක්ස් ඇතුළේ ”

නයිට් රයිඩර් (Night Rider) නිෂ්පාදන කටයුතු නිමාවී වසර කිහිපයක් ගතවී තිබුණත් මේ දක්වාම පුළුල් සිනමාශාලා ප්‍රදර්ශනයක් වෙනුවෙන් චිත්‍රපටය මුදා හරින්නට නිෂ්පාදකයින්ට අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒ වෙනුවට සීමිත ප්‍රේක්ෂකාගාරයක් වෙනුවෙන් විවිධ ස්ථානවලදී මෙහි පෞද්ගලික දර්ශනවාර කිහිපයක් ඔවුන් විසින් සංවිධානය කළා. දෙරණ Film Awards 2019 හි Cinema of Tomorrow කාණ්ඩයට යටතේ ද නයිට් රයිඩර් (Night Rider) සිනමාපටය මින් වසර කිහිපයකට පෙර ප්‍රදර්ශනය වුනා.

කළණ ගුණසේකර සහ යුරේනි නොෂිකා රංගනයෙන් එක් වූ, මෙම සිංහල චිත්‍රපටය එළඹෙන ජූලි 22 වනදා සිට දිවයින පුරා සිනමා ශාලාවලදී ඔබට නැරඹීමට අවස්ථාව තිබෙනවා.
නයිට් රයිඩර් (Night Rider) චිත්‍රපටයේ අධ්‍යක්ෂක කසුන් චන්ද්‍රනාත් පතිරණ සහ එහි ප්‍රධාන චරිත නිරූපණය කරන රංගන ශිල්පී යුරේනි නොෂිකා, Cinema lk සමඟ සිදු කළ සංවාදය පහතින්…

Leave a Reply

Your email address will not be published.