පුරවැසි හඩට ඇහුම්කන් නොදෙයි නම් සංගමයක් ලෙස උපරිම ක්‍රියාමාර්ග ගන්නවා – GMOA

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් වෘත්තිය සංවිධානයක් ලෙස සෞඛ්‍ය සේවාවන් බිද වැටිමකින් තොරව පවත්වා ගැනීම සදහා අවශ්‍ය නායකත්වය හා මග පෙන්වීම ලබා  දිමට සංගමයක් ලෙස තමන් නිරතුරුව කැපව සිටින බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටී.

එම නිවේදනයේ සදහන් වන්නේ,

අප දන්නා ඉතිහාසය තුල දරුණුතම හා උච්චතම සමාජ ආර්ථික අර්බුදයට රට මුහුණ දෙමින් සිටින බව නොරහසකි. නිවැරදි තීන්දු තීරණ නිවැරදි වේලාවේදී නොගැනීමත්, කිසිදු බියක් සැකක් නොමැතිව වැරදි තීන්දු තීරණ වලට එළඹීමත් මේ සදහා මුල් වූ ප්‍රධාන නිමිති බව පෙනී යයි.

පුරවැසියන්ගේ මූලික අවශ්‍යතාවයන් වන ඉන්ධන, විදුලිය වැනි අවශ්‍යතා පවා සපුරාගත නොහැකි රටක් මේ වන විට නිර්මාණය වී ඇති අතර දිනෙන් දින ඉහල යන උද්ධමනය හා ජීවන වියදම හමුවේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සපයා ගැනීමද අද වන විට සිහිනයක් බවට පත් වෙමින් ඇත.

අනාගත පරපුරේ බලාපොරොත්තු බොද කරමින් අධ්‍යාපන කටයුතු ද සැලකිය යුතු මට්ටමකින් අඩාල වී ඇත.

සමස්ත සමාජයට මෙන්ම අප සාමාජිකයන්ටද සිවිල් පුරවැසියන් ලෙස මෙම බහුවිධ අභියෝගයන්ට අඩු වැඩි වශයෙන් මුහුණ දිමට සිදුව ඇත.

සියලු පාර්ශව පොදු එකගතාවයන් සහිත ජාතික න්‍යාය පත්‍රයක් තුල වර්තමාන අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම සදහා එකමුතුව කටයුතු කල යුතු බව අපි තරයේ විශ්වාස කරමු.

එහිදී,

·        ප්‍රතිපත්ති සම්පාදනය හා මූල්‍ය වගකීම ඉටු කිරීම හරහා ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරිම සදහා පාර්ලිමේන්තුව තුල කටයුතු සම්පාදනය විය යුතුය. වගකීමට එහා ගොස් වගවීමේ සිද්ධාන්ත මත ඒ සදහා කටයුතු කල යුතුය.

·        ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙන්ම විසදුම් ක්‍රියාත්මක කිරීමේදී ඒ ඒ ක්ෂේත්‍ර නියෝජනය කරන වගකීම් සහ වගවීම් සහිත වෘත්තීයවේදී කාණ්ඩ වල තාක්ෂණික උපදේශකත්වයට ගරු කල යුතුය. එහිදී සැගවුණු න්‍යාය පත්‍රයන් පරාජය කරමින් ඉදිරියට යාම අනිවාර්යය.

·        පුරවැසියන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරාලීම බලධාරින්ගේ ප්‍රමුඛ කාර්ය භාරය විය යුතුය. ඒ සදහා වන කෙටි කාලින හා මධ්‍යකාලීන වැඩ සැලැස්මක් රට හමුවේ ඉදිරිපත් කල යුතු බව පෙන්වා දෙමු.

·        ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්ම තුල භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කල යුතුය.

·        නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම වෙනුවෙන් හැකි උපරිම ප්‍රමුඛතාවය ලබා දිය යුතුය.

මේ වන විටත් ආගමික නායකයන්, වෘත්තීයවේදීන්, සිවිල් සංවිධාන නායකත්වය ඇතුලු බහුතරයක් වූ ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් පවතින අර්බුදයෙන් ගොඩ ඒම සදහා පැලැස්තර විසදුම් වෙනුවට ජාතික එකගතා වැඩපිලිවෙලක් සහිත නිශ්චිත කාල රාමුවකින් යුතු නව පාලන තන්ත්‍රයක අවශ්‍යතාවය පෙන්වා දී ඇති බව අපි නිර්ක්ෂණය කරමු.

ඒ බහුතර හඩට සවන් දීමත් ගරු කිරීමත් ඒ සදහා ඉඩ කඩ විවර කිරීමත් පාලකයන්ගේ යුතුකම හා වගකීම බව අපිද දැඩි සේ විශ්වාස කරමු. එය ජනතා විශ්වාසය මෙන්ම රට කෙරෙහි ඇති ජාත්‍යන්තර පිලිගැනීම නැවත ස්ථාපිත කිරීම සදහා වන අත්‍යාවශ්‍ය කොන්දේසියක් බව පැහැදිලිය.

පවතින පාලනය මතුව ඇති අර්බුදයට විසදුම් ලබා දීමේදී අසමත් වී ඇති බව අවිවාදිතය. කෙසේ නමුත් කණගාටුවෙන් වුවත් සදහන් කල යුත්තේ කිසිදු පාර්ශවයක් මේ දක්වා පවතින අර්බුදයන්ට විසදුම් ඉදිරිපත් කිරිමට අවංක හා සාධනීය මැදිහත්වීමක් හෝ උත්සාහයක් ගන්නා බව නොපෙනෙන බවයි.

රට තවදුරටත් ගැඹුරු අගාධයකට ගමන් කර ගොඩ ගත නොහැකි තත්ත්වයකට පත් විමට පෙර සමාජ ආර්ථික අර්බුදයට විසදුම් ඉදිරිපත් කිරිම වහා වහා සිදු විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අදහස් කරමු.

පාලකයන් පුරවැසි හඩට ඇහුම්කන් නොදෙමින් ලැජ්ජා බය නොමැති අත්තනෝමතික ගමනක තවදුරටත් යෙදෙයි නම් එම තත්ත්වය වැලැක්වීම සදහා සාමාජිකත්වයේ එකගතාව මත වෘත්තීය කණ්ඩායමක් ලෙස ගත යුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග කරා යොමු වීමට පසුබට නොවන බව අපි අවධාරණය කරමු.

බලපෑම් කණ්ඩායම් ලෙස කටයුතු කරමින් පාලකයන් ඒ සදහා යොමු කරවීමට පුරවැසියන්ට ඇති අයිතියට සියලු පාර්ශව ගරු කල යුතු බව අපි පෙන්වා දෙමු.

නැවුම් ආරම්භයක් සහතික කිරීමකින් තොරව පැහැදිලි අනාගතයක් නොදකින මානයකට අප ගමන් කර අවසන් බව ප්‍රත්‍යක්ෂ වී ඇති බවය.

Leave a Reply

Your email address will not be published.