සාමය බිඳ දමන දේපල හානි කරන කිසිදු ක්‍රියාවකට ඉඩ නෑ

රටේ පවත්නා නීතිය උල්ලංඝනය කරමින් සාමකාමි බව බිඳ වැටෙන ආකාරයට ප්‍රචණ්ඩකාරි ලෙස කටයුතු කරමින් රජයේ හා පෞද්ගලික දේපොළවලට හානි කරමින් රැස්වීම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ මුවාවෙන් කරනු ලබන ක්‍රියා ඉවසා සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යටතේ රටේ නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින කිසිදු නිලධාරියකුට හැකියාවක් නැති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අවධාරණය කරයි.

විශේෂ ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කරමින් පොලිස්පතිවරයා ඊයේ (7) ඒ බව අවධාරණය කළේය. පොලිස්පතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

‘‘ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව මගින් සහතික කර ඇති භාෂණය හා ප්‍රකාශනයේ අයිතිය මෙන්ම සාමකාමීව රැස් වීමට ඇති නිදහසට ශ්‍රී ලංකා පොලිසිය සෑම විටම ගරු කරනු ලබනවා. පුරවැසියන්ගේ එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්

ප්‍රවර්ධනය කිරීමටත් ගත හැකි සෑම පියවරක්ම උපරිම වශයෙන් අප ගනු ලබනවා. සෑම පොලිස් ස්ථානයකම සියලු නිලධාරීන්ට ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය වරින්වර අඛණ්ඩව උපදෙස් දී තීබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව මගින් දී ඇති

එම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේදී අනිකුත් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි එම අයිතිවාසිකම්වලට බාධා නොවන ආකාරයට කටයුතු කිරීමේ මූලික යුතුකමක් සෑම දෙනාටම තිබෙනවා.

ඒ වගේම රටේ පවත්නා නීතිය උල්ලංඝනය කරමින් සාමකාමි බව බිඳ වැටෙන ආකාරයට ප්‍රචණ්ඩකාරි ලෙස කටයුතු කරමින් රජයේ හා පෞද්ගලික දේපොළවලට හානි කරමින් රැස් වීම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ මුවාවෙන් කරනු ලබන ක්‍රියා ඉවසා සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යටතේ රටේ නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින කිසිදු නිලධාරියකුට හැකියාවක් නැති බව අවධාරණය කරනවා. එබැවින් මේ අවස්ථාවේදි සියලු මහජන ක්‍රියාකාරීන් දේශපාලන නායකයන් හා ආගමික නායකයන් ඇතුළු සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ තම මූලික අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා කටයුතු කරන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව රජයේ හා පෞද්ගලික දේපොළවලට හානි කිරීමෙන් සහ නීත්‍යනුකූලව සේවයේ යොදවා සිටින රජයේ හා පෞද්ගලික සේවකයන්ට බාධා කිරීමෙන් වැළකී නීතිමය රාමුවක සිට එම අයිත්වාසිකම් භුක්ති විඳින ලෙසයි.”

Leave a Reply

Your email address will not be published.