ශ්‍රී ලංකාවට දෙන GSP සහනය ගැන සාකච්ඡා සාර්ථකයි

ශ්‍රී ලංකාවට දීමට නියමිත මීළඟ ජීඑස්පී (GSP) රෙගුලාසිය මේ වනවිට යුරෝපා සංගම් කොමිසම සහ යුරෝපා පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බඳුන්ව පවතින බව කොළඹ සිටින එම සංගමයේ තානාපති, ඩෙනිස් චයිබි මහතා පවසයි.

විදේශ කටයුතු ඇමැති ජී.එල්. පීරිස් මහතා එම අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී ඊයේ (8) ඒ මහතා මේ බව පවසා ඇත.

විදේශ ඇමැතිවරයා මේ සාකච්ඡාවේදී යුරෝපා සංගමයේ තානාපතිවරයා හමුවේ ඉදිරිපත් කළ කරුණු අතරට මෙරට වත්මන් ආර්ථික තත්ත්වය ආශ්‍රිත ප්‍රවණතා, 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසි යටතේ තහනම් කරන ලද සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තුව සමාලෝචනය කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින රැඳවූවන් නිදහස් කිරීම, ස්වාධීන ආයතනවල ප්‍රගතිය සහ යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන ලක්ෂණ යනාදිය ඇතුළත් විය.

මෙරට ස්ථාපිත දේශීය යන්ත්‍රණ තුළින් සත්‍යාපනය කළ හැකි වූත් ප්‍රමාණවත් වූත් සුවිසල් ප්‍රගතියක් ලබා ගැනීමට රජය සමත් වූ බව සඳහන් කළ ඒ මහතා, පවතින ආර්ථික අර්බුදය හමුවේ වුව ද අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමට රජය සිය අවධානය යොමු කොට ඇති බව අවධාරණය කළේය. සමාජයේ අවදානමට ලක්විය හැකි ජන කොටස් ඉලක්ක කෙරෙන සුබසාධන ක්‍රියාමාර්ග රැසක් ඇතුළත් නව අය වැයක්, නුදුරේදී ඉදිරිපත් කිරීමට රජය අදහස් කරන බව ද හෙතෙම දැනුම් දුන්නේය.

මෙරට මෑත කාලීන ප්‍රවණතා පිළිබඳ ඉදිරිපත් කරන ලද මේ තොරතුරු, යුරෝපා සංගමයේ තානාපතිවරයාගේ ඇගයුමට ලක්විය. 2024-2033 වර්ෂය සඳහා වන යුරෝපා සංගමයේ මීළඟ ජීඑස්පී (GSP) රෙගුලාසිය මේ වනවිට යුරෝපා සංගම් කොමිසම සහ යුරෝපා පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බඳුන් වෙමින් පවතින බව තානාපතිවරයා ප්‍රකාශ කළේය.

මෑතකදී අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ 50 වැනි සැසිවාරය පිළිබඳ සඳහන් කළ ඇමැති ජී.එල්. පීරිස් මහතා, මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් සමඟ ශ්‍රී ලංකාව සිය ඵලදායි නිරත වීම් අඛණ්ඩව කරන බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.