හිතුවක්කාර පාලනයෙන් කෘෂි රක්ෂණයට පාඩු පිට පාඩු

  • ලක්ෂ 400ක මාසික ලාභය ලක්ෂ දහයට බැහැලා
  • අමාත්‍යාංශ ලේකම්ටත් උඩින් ගිහින්
  • සේවකයන්ට රාජකාරිය තිත්ත වෙලා

කෘෂි රක්ෂණ මණ්ඩලයේ ඉහළ නිලධාරියකුගේ අත්තනෝමතික පාලනය නිසා එම ආයතනය දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් බවට පත් වී ඇති බව වාර්තා වේ. පසුගිය කාලයේ මේ ආයතනය මාසිකව රුපියල් මිලියන 40ක පමණ ලාභයක් ඉපැයූව ද මේ වන විට එය රුපියල් මිලියනයක් පමණ පහතට වැටී ඇත.

එහි වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ මේ බලධරයා සේවකයන්ට කරන මානසික පීඩා, පෞද්ගලික පළිගැනීම් මත කරන සේවක මාරු කිරීම්, බැණ වැඳීම් ඇතුළු හිංසාකාරි ක්‍රියාකලාප නිසා මේ වන විට කෘෂි රක්ෂණ මණ්ඩලයේ සේවක සේවිකාවන්ට රැකියා ස්ථානය අප්‍රසන්න වී ඇති බවයි.

වෘත්තීය සමිති නියෝජිතයන් උද්ගත වී ඇති මේ තත්ත්වය පිළිබඳ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා හමු වී කරුණු පැහැදිලි කර තිබේ. දිගින් දිගටම සේවකයන්ට මුහුණ පාන්නට වී තිබෙන මේ අප්‍රසන්න සිදු වීම් මත සිය රැකියාව නිසි පරිදි කිරීමට නොහැකි වීම නිසා ආයතනය පරිහානිය කරා ගමන් කර ඇති බව ද එහිදී එම පිරිස ඇමැතිවරයාට පෙන්වා දී තිබේ. 300කට ආසන්න සේවක මණ්ඩලයට තම රැකියා කටයුතු කර ගැනීමට ආයතන ප්‍රධානි ඉඩ නොදෙන බවත් පෞද්ගලිකව පළිගැනීමේ චේතනාවෙන් සේවකයන්ට, උසස් නිලධාරීන්ට මාරු වීම් ලිපි දී ඇති බවත් වෘත්තීය සමිති නියෝජිතයන් අවධාරණය කර ඇත.

මෙසේ මාරු වීම් ලිපි ලත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකුගේ අදාළ මාරු වීම වහාම නවත්වන ලෙස දන්වා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා මේ බලධරයාට ලිඛිතව දන්වා ඇතත්, ඔහු විසින් එය නොතකා හැර ඇත. මේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට යම් චෝදනාවක් වේ නම් ඒ සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්. එසේ නැතිව කරන මේ මාරු වීම වහාම අවලංගු කරන ලෙසත් ලේකම්වරයා ඔහුට ලිඛිතව දන්වා ඇත.

මේ උසස් නිලධාරියා මේ උපදෙස් නොතැකීම ලේකම්වරයාගේ අප්‍රසාදයට ද හේතු වී ඇති අතර, මෙසේ නිලධාරීන් හිටි අඩියේ මාරු කිරීම වහාම නවත්වන්නැයි ද මෙසේ නියෝග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමන්ට පැවරී ඇති බලතල ද පෙන්වා දෙමින් දෙවන වරටත් පසුගිය දා (07) අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඔහුට ලිඛිතව දැනුම් දී තිබේ.

ගොවි ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් කෘෂි රක්ෂණ ප්‍රතිපත්ති සකස් කිරීම, ගොවි විශ්‍රාම වැටුප් හා රක්ෂණ ක්‍රම සඳහා ගොවි ජනතාව උනන්දු කිරීම, හඳුන්වා දීම සහ එයට දායක කර ගැනීම වගකීම කර ගත් කෘෂි රක්ෂණ මණ්ඩලය රැක දෙන ලෙසත් සහ තම වෘත්තීය අයිතීන් සුරක්ෂිත කරන ලෙසත් එහි සේවක සේවිකාවන් නියෝජනය කරමින් වෘත්තීය සමිති නියෝජිතයෝ කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published.