දොඹගොඩ වෙඩි තැබීම : පොහොට්ටු මන්ත්‍රී ලලිත් අල්ලන්න කණ්ඩායම් 3ක්

දොඹගොඩ හමුදා කඳවුර මංසන්ධියේ පිහිටි නිවෙසක් ඉදිරිපිටදී වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර පලා ගොස් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 3ක් යෙදවීමට පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් වෙදගේ මහතා පියවර ගෙන තිබේ.

මේ වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ (08) අලුයම් කාලයේදීය.පොලීසිය පවසන්නේ මෙසේ වෙඩි තබා ඇත්තේ ඔහුගේම ඥාතියකුගේ නිවෙසකට බවය. මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියක් එම වෙඩි තැබීමට යොදාගෙන ඇතැයි පොලිසිය සැක කරයි. එම ස්ථානයේ තිබී මිලි මීටර් 9 හිස් පතොරම් කොපු දෙකක් ද පොලිසියට හමුවී ඇත.

වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවෙස් හිමියාගේ මවගේ තෙමස් පූර්ණ පින්කම වෙනුවෙන් පැවති ධර්ම දේශනාව යෙදී තිබී ඇත්තේ පෙරේදා (07) දිනයටය. ඊට මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර (දයාබර මංජු) මහතාට ද ආරාධනා ලැබී තිබී ඇත. රාත්‍රී 11.00ට පමණ ඔහු තවත් කිහිප දෙනෙක් සමඟ පින්කම් නිවෙසට පැමිණ ඇති බවත් බීමත්ව ඔහු සිට ඇති බවට තොරතුරු ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

රටේ මේ වන විට පවතින තත්ත්වය මුල් කරගෙන එම පින්කම් නිවෙසේ රැඳී සිටි පිරිසක් හා මන්ත්‍රීවරයා අතර බහින්බස් වීමක් සිදුව ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත. එහිදී එම බහින්බස් වීම දුර දිග ගොස් ඇති අතර, පසුව එය ගැටුමක් බවට පත් වීමට ගොස් සමථයකට පත්ව තිබේ.

අනතුරුව එම ස්ථානයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරයා අලුයම 3.00ට පමණ එම නිවෙස ඉදිරිපිටට පැමිණ වාහනයේම රැඳී සිටිමින් නිවෙස දෙසට වෙඩි තබා ඇති බව නිවැසියන් පොලිසියට පවසා ඇත. ඔවුන් පවසන්නේ වෙඩි තුනක් තැබූ බවය. එහෙත් හමුවී ඇත්තේ හිස් පතොරම් කොපු 2ක් පමණි.

වෙඩි තැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා පැමිණි මෝටර් රථය වේගයෙන් හොරණ දෙසට පලා ගොස් ඇතැයි නිවැසියන් පොලිසියට කියා තිබේ.

මෙසේ මන්ත්‍රීවරයා විසින් වෙඩි තැබුවේ මන්ත්‍රීවරයෙක් ලෙස ඔහුට නිකුත් කරන බලපත්‍ර සහිත ගිනි අවියකින් ද එසේත් නැති නම් වෙනත් අවියකින් ද යන්න පිළිබඳ සොයා බලන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එසේම මන්ත්‍රීවරයාට බලපත්‍ර සහිත ගිනි අවියක් නිකුත් කර තිබේ දැයි ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරුණු විමසීමක් ද කිරීමට පොලිසිය සූදානම් වේ.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත අගුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති යූ.ඩී.යූ. සිරිමෙවන් මහතා පරීක්ෂණ මෙහෙයවයි.

ගයාන් කුමාර වීරසිංහ සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ

Leave a Reply

Your email address will not be published.