11-12 දිනවල කොළඹට රථ 70කින් ගෑස් සිලින්ඩර් 1,40,000ක්

  • රට පුරා නියෝජිතයන්ටත් අඛණ්ඩව ගෑස්
  • ටොන් 3,700ක නැවක් හෙට මෙරටට

ඒල්.පී. ගෑස් සිලින්ඩර 1,40,000ක් ලබන සඳුදා සහ අඟහරුවාදා (11 සහ 12) දෙදින තුළ ‍කොළඹ නගරය පුරා විවිධ ස්ථානවල ජංගම රථ මගින් අලෙවි කිරීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම කටයුතු යොදා තිබේ.

ගෑස් සිලින්ඩර බෙදා හරින ට්‍රක් රථ 70ක් මේ සඳහා යෙදවීමට සැලසුම් කර ඇත.

බදාදා (13) සිට රට පුරා නියෝජිතයන්ට අඛණ්ඩව ගෑස් දීමට ද සැලසුම් කර ඇති අතර, මෙමගින් පාරිභෝගික ඉල්ලුම අඩුවකින් තොරව ලබා දීමට බලාපොරොත්තු වේ.

ඕ.කිව්. ගෑස් සමාගම විසින් සපයනු ලබන මෙට්‍රික් ටොන් 3700ක් අඩංගු පළමු ගෑස් තොගය රැගත් නැව හෙට (10) කොළඹ වරායට ළඟා වීමට නියමිතය. මේ සමාගම විසින් ලිට්රෝ සමාගම සහ ලෝක බැංකුව විසින් පසුගිය 30 දා එළැඹෙන ලද ගිවිසුම අනුව මාස හතරකට අඛණ්ඩ සැපයුම සඳහා ප්‍රමාණවත් වන එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිලදී ගැනේ. මේ මස තුළදී ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් පැමිණීමට නියමිතය.

මිලදී ගනු ලබන මුළු ගෑස් තොගයේ වටිනාකම අමෙරිකන් ඩොලර් මිලියන 90කි. ලෝක බැංකුව මිලියන 70ක අරමුදල් සපයන අතර, ඉතිරි ඩොලර් මිලියන 20 ලිට්රෝ සමාගම විසින් සපයනු ලැබේ.

ඕ.කිව්. සමාගමෙන් මිල දී ගනු ලබන මේ ගෑස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත දීමට පියවර ගැනේ. එම තොගයට කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන 1ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇත. ඉතිරි 30% වාණිජ භාවිතය සඳහා ලබා දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published.