ඔස්ට්‍රේලියාව පළමු ඉනිමේ ප්‍රබල තත්ත්වයක

  • මහීෂ-කමිඳු-ප්‍රභාත්ට ටෙස්ට් වරම්
  • පළමු දිනයේම ප්‍රභාත්ට කඩුලු 3ක්

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ඊයේ ආරම්භ වූ දෙවැනි හෙවත් අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දෙන ඔස්ට්‍රේලියාව කඩුලු 5කට ලකුණු 298ක් රැස් කරගෙන ප්‍රබල තත්ත්වයක පසු වෙයි.

දිනය නිමා වෙද්දී ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 109ක් හා ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 16ක් රැස් කරමින් කඩුල්ලේ රැඳී සිටිති. ටෙස්ට් ඉනිම 16කට පසුව තම 28 වැනි ශතකය සම්පූර්ණ කළ ස්ටීව් ස්මිත් වේග පන්දු යවන කසුන් රාජිතගේ පන්දුවකට අලංකාර ‘ඩ්‍රයිව්’ පහරකින් හතරේ පහරක් එල්ල කොට ලකුණු 100 සටහන් කළේය. ඊයේ දිනය නිමා වෙද්දී ස්ටීව් ස්මිත් පන්දු 212කදී හතරේ පහර 14ක් එල්ල කොට තිබිණි. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කථා පොතේ 159 වැනි ක්‍රීඩකයා ලෙස සටහන් වූ වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ඔස්ට්‍රේලියාවේ හොඳම කඩුලු තුනක් දවාගෙන යම් තර්ජනයක් එල්ල කළ පන්දු යවන්නා විය. පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා වෙනුවට කැඳවූ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ 160 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස වරම් දිනාගත්තද ඊයේ පන්දු යැවීමේ නිරත වූයේ නැත. ශ්‍රී ලංකාවේ 161 වැනි ටෙස්ට් ක්‍රීඩකයා වූ මහීෂ් තීක්ෂණ ඕවර 15ක් යවා නිලකුණු ඕවර දෙකක් සටහන් කොට තවමත් කඩුලු දවා ගෙන නැත.

ඔස්ට්‍රේලියා ඉනිම කෙළින් සිටුවූ ස්ටීව් ස්මිත් හා මානස් ලැබුෂේන් දිනයේ වටිනාම සම්බන්ධතාව ගොඩනැඟූ අතර, තෙවැනි කඩුල්ලට පන්දු 223කදී ලකුණු 134ක් එක් කළහ. එය ඔස්ට්‍රේලියා ඉනිම විශාල ලකුණු ගණනක් කරා රැගෙන ගිය හොඳ අඩිතාලම ලෙස හැඳින්විය හැකිය.

අගනා පිතිකරණයක් දියත් කළ අංක එක පිතිකරු මානස් ලැබුෂේන් තම ටෙස්ට් දිවියෙහි 7 වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 104ක් එක් කළේය. පන්දු 156කදී හතරේ පහර 12ක් එල්ල කළ ඔහු ලකුණු 28ක් රැස් කර සිටියදී ඉදිරියට පැන එල්ල කළ පහර පිත්තේ නොවැදී කඩුලු රකින දික්වැල්ල අතට ගියද එම පහසු ‘ස්ටම්ප්’ කිරීම ගිලිහී ගියේය. ලකුණු පුවරුව එවිට කඩුලු 2කට ලකුණු 79ක් වී තිබිණි. රමේෂ් මෙන්ඩිස් පන්දු යවමින් සිටියදී ලැබුෂේන් ඉදිරියට පනිනු කලින්ම දැක පන්දුව පතිත කරන ස්ථානය වෙනස් කිරීමෙන් පිතිකරු දවා ගැනීමට උත්සාහ කළද ගිලිහී ගියේය. එහෙත් ජයසූරිය එවූ පන්දුවකදී ලැබුෂේන්ට ගැලවීමක් නොදීමට දික්වැල්ල ස්ථීර අධිෂ්ඨානයකින් කටයුතු කළ අතර, ලකුණු පුවරුව 204ක් වෙද්දී ඔහු ‘ස්ටම්ප්’ කිරීමකින් ඔහු දවා ගත්තේය. වේග පන්දුවට එතරම් හිතකර නොවන ගාලු තණතිල්ලේ හොඳ ආරම්භයක් ගත් කසුන් රාජිත යැවූ තුන්වැනි ඕවරයේදී ඩේවිඩ් වෝනර් දවා ගැනීමට සමත් විය. වෝනර්ගේ කඩුල්ල ඇතුළටම පන්දුව යොමු කළ රාජිත වෝනර්ගේ ඉනිම ලකුණු 5කට සීමා කළේය. වෝනර් සමඟ ඉනිම ආරම්භ කළ උස්මාන් කවාජා ලකුණු 37ක් රැස් කර සිටියදී රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දෙවැනි කඩුල්ලට දැවී ගියේය.

කැමරූන් ග්‍රීන්ට හා ට්‍රැවිස් හේඩ්ට ස්ථාවර වීමට කිසිදු ඉඩක් නොදුන් ජයසූරිය ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 12කට හා ලකුණු 4කට දවා ගැනීමට සමත් විය. 82 වැනි ඕවරයේ නව පන්දුව ගැනීමට ශ්‍රී ලංකා පිල කටයුතු කළ අතර, ඒ වෙද්දී පන්දු යවමින් සිටි තීක්ෂණගේ ඕවරයෙන් පසු යළිත් වේග පන්දු යවන කසුන් රාජිත නව පන්දුව අතට ගත්තේය. එහෙත් නව පන්දුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට දැනෙන තර්ජනයක් එල්ල නොවිණි.

අද (9) තරගයේ දෙවැනි දිනයයි.

Leave a Reply

Your email address will not be published.