අගමැතිගේ නිවසට පහරදීමේ සිද්ධියේ විමර්ශන CIDයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.
සිද්ධියට අදාළව තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මේ වනවිට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අධිකරණ වෛද්‍ය වාර්තා ලබාගැනීමෙන් අනතුරුව සැකකරුවන් තුන්දෙනා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්වයන් අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස පිහිටි ස්ථානයට පැමිණියා.
කොල්ලුපිටිය පස්වැනි පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ද අරගලකරුවන් ඊයේ පස්වරුවේ ඇතුළුවීමට උත්සහ කළා.
එම අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පොලිස් මාර්ග බාධක බිඳ දමමින් ඔවුන් ඉදිරියට යාමට උත්සහ කිරීමත් සමග පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කිසියම් පිරිසක් ඇතුළු වී ගිනි තබා තිබෙනවා.
ගින්නෙන් නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති අතර ඊයේ රාත්‍රීයේම සිද්ධියට සම්බන්ධ තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන් ගල්කිස්ස, ගාල්ල සහ ජා-ඇල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර දිවයින පුරා පස්වරු 6න් පසු දෛනික විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට සැලසුම් කර තිබු අවස්ථාවකදී අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සිදුවන අවස්ථාවේ දී එම ප්‍රදේශයට විදුලි කප්පාදුවක් සිදුවූයේ කෙසේද යන්න පිළිබඳ මහජන උපයෝගීතා කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published.