මීලඟ ජනපති සජිත් ද – ඩලස් ද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා(13) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ බෙදීමක් ඇති නොවී මේ දෙදෙනාගෙන් අයකු ජනාධිපතිවරයා ලෙස එකඟතාවකින් පත්කර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් අතර මේ වන විට සාකච්ඡාවක් ද ආරම්භ වී ඇත.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් තලතා අතුකෝරල මන්ත්‍රීවරියගේ නුගේගොඩ පිහිටි නිවසේ ඊයේ (10)පස්වරුවේ පවත්වා ඇති අතර,සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම,සහ හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ඇතුළු පක්ෂ හා කණ්ඩායම් රැසක් ඒ සඳහා සහභාගි වී ඇතැයි දැනගන්නට තිබේ.

රට තුළ ඇතිව තිබෙන බරපතළ දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ බෙදීමක් ඇති නොකර මේ දෙදෙනාගෙන් අයකු ජනාධිපතිවරයා ලෙසත්, අනෙක් කෙනා අගමැති ලෙසත් පත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට තිබේ.

මේ අතර, හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ඊයේ පෙරවරුවේ රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

අතුරලියේ රතන හිමි ද ,විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර ,විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, වීරසුමන වීරසිංහ , ප්‍රේමනාත් දොලවත්ත,මොහොමඩ් මුසම්මිල්, ඒ එල් එම් අතාවුල්ල, ගෙවිදු කුමාරතුංග යන මහත්වරුද ඊට සහභාගි වූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් වහාම ඉල්ලා අස්වන ලෙස බල කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය කර ඇත.

මේ අතර ,නව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් ද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේ දී අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිව ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයාට මේ වන විටත් ලිඛිතව දැනුම් දී ඇත.

අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස කතානායකවරයා පත් වන අතර,මේ සතියේ හෝ ලබන සතියේ දී පාර්ලිමේන්තුව රැස්වී නව ජනාධිපතිවරයා පත් කර ගැනීමට නියමිත බව දැනගන්නට ඇත.

මේ අතර, සියලු පක්ෂ සම්බන්ධ කර ගනිමින් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද දේශපාලන පක්ෂ නායකයන් අතර සාකච්ඡා වට ගණනාවක් මේවන විට පවත්වා ඇත.

මේ අතර, ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඔහුට සහාය ලබාගැනීමේ උත්සාහයක් ද මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින බව දැනගන්නට ඇත.

සාමකාමී විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එල්ල වූ සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ විරෝධතාවලට අදාළව දේපළ හානි කිරීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කර ඒවාට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඇමෙරිකානු තානාපතිනිය සිය නිවේදනය මඟින් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දේශපාලන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව සඳහන් කරන ඇමෙරිකානු තානාපතිනිය වගවීම, විනිවිදභාවය සහ සියලු ශ්‍රී ලාංකිකයන්ට වඩාත් යහපත් අනාගතයක් උදෙසා සෑම තරාතිරකම ජනතාව දහස් ගණනින් වීදිවලට පැමිණ ඇතැයි ද කියයි.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ අවදානම් හා තර්ජනාත්මක මෙන්ම වැදගත් මොහොතක් බවත් සඳහන් කරන ඇය එක් දේශපාලන පක්ෂය යහපත වෙනුවෙන් සමස්ත ජාතියේම යහපත වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉඩ සලසන්නැයි ද ඒ සඳහා සියලු පාර්ශව සංයමයෙන් සහ ගෞරවයෙන් කටයුතු කරන්නැයි ද ඇය අවාධරණය කරයි.

Leave a Reply

Your email address will not be published.