පක්ෂ නායකයන්ගේ මතයට ගරු කරමින් ජනපති 13 දා ඉල්ලා අස් වෙනවා

සන්සුන්ව රට ගෙනයන්න සැම දෙන දායක වෙන්න

කථානායක කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ නායකයන්ගේ මතයට ගරු කරමින් සිය ධුරයෙන් 13 වැනිදා ඉල්ලා අස් වන බවට ජනාධිපතිවරයා විසින් තමන් වෙත දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙරේදා (09) රාත්‍රියේ අවධාරණය කළේය.

සාමකාමී ලෙස එම කටයුතු කිරීම හා පාලනය භාර දීම කළ යුතු බැවින් සිය ඉල්ලා අස් වීම 13 වැනිදා කරන බව රටට දැනුම්දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් වෙත දැනුම් දුන් බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

එබැවින් තව දුරටත් රට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිකිරීම අවශ්‍ය නොවන බවත් සාමකාමී ලෙස පාලනය භාරගත හැකි පරිදි රට සන්සුන්ව තැබීමට දායකවන ලෙස සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. රටේ අනාගතය වෙනුවෙන් මෙම කටයුතු සාර්ථකව කිරීමට සහයෝගය දෙන ලෙසත් සාමකාමී ‍ලෙස විසිරී ‍නිවෙස් වෙත යන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් කතානායකවරයා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව අවධාරණය ‍කළේ රටතුළ උද්ගතවූ වාතාවරණය හමු‍වේ (09) පැවැති පක්ෂ නායක රැස්වීමෙන් ගත් තීරණ ජනාධිපතිවරයා වෙත දැනුම්දීමෙන් පසුව ඇතිවූ තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කරමිනි.

එහිදී වැඩිදු‍රටත් අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙස ද ගිනිතබා විනාශ කර ඇති අතර ඇතැම් පිරිස් ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට කටයුතු කරමින් සිටින බවයි. එබැවින් එවැනි ආකාරයේ ප්‍රචණ්ඩක්‍රියාවලට මැදිහත් නොවී විසිරී යන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද කථානායකවරයා අවධාරණය කළේය.

එමෙන්ම මෙම කටයුතු අවසන් වනතෙක් රටේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු බැවින් එම කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙස සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා

අද දින පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් අනතුරුව ගත් එකඟතාවන් අනුව මවින් එම තීරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නා. ඒ අනුව ඔහු විසින් එම තීරණ ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළකර තිබෙනවා. නමුත් සාමකාමී ලෙස එම ක්‍රියාවලිය කිරීම සහ පාලනය භාරදීම සඳහා ඔහුගේ එම ඉල්ලා අස්වීම 13 වැනි බදාදා කරන බවට රටට දන්වන ලෙස මා වෙත දැනුම් දුන්නා. එබැවින් තවදුරටත් රටතුළ නොසන්සුන්තාවක් ඇති කිරීමට අවශ්‍ය නොවන බැවින් සාමකාමීව පාලනය භාරගත හැකි පරිදි රට සන්සුන්ව තැබීමට ඔබ සියලු දෙනාගේම සහයෝගය රට වෙනුවෙන් හා අපේ රටේ ජාතියේ අනාගතය වෙනුවෙන් දෙන ලෙසත් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

එමෙන්ම මේ වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙසට ගිනිතබා විනාශ කර ඇති අතර ඇතැම් පිරිස් ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට කටයුතු කර ඇත. එබැවින් තව දුරටත් එම කටයුතුවලට මැදිහත් නොවී සාමකාමීව නිවෙස්වලට විසිරී යනලෙස වගකීමෙන් යුක්තව සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම මෙම කටයුතු සාර්ථකව අවසන් වනතෙක් රටේ දෛනික, සියලු කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනලෙස සියලු ‍රාජ්‍ය සේවකයන්ගෙන් හා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමි.

Leave a Reply

Your email address will not be published.