ශ්‍රී ලංකාව කඩුලු 4ක් අතැතිව ලකුණු 67ක් ඉදිරියෙන්

චන්දිමාල් නොදැවී 118යි: කමිඳුගෙන් මංගල අර්ධ ශතකයක්

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැත්වෙන දෙවැනි හෙවත් අවසන් ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු 364ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 431 රැස් කර ගෙන සිටී. ඒ අනුව තරග දෙකකින් සමන්විත වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරියෙන් සිටින ඔස්ට්‍රේලියාවට වඩා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව දැන් කඩුලු 4ක් අතැතිව ලකුණු 67ක් ඉදිරියෙන් සිටී.

පළමු ටෙස්ට් තරගය දින දෙකහමාරකින් නිම වූ අතර, එම තරගයට වඩා වෙනස් හැසිරීමක් මේ තණතිල්ලේ තිබීම කැපී පෙනිණි. නිමා වූ දින තුනේදී පිතිකරුවන්ට වැඩි වාසි ලැබෙන පරිදි හැසිරෙන ගාලු තණතිල්ල අද සහ හෙට දඟ පන්දු යවන්නන්ට වාසි සහගත ලෙස හැසිරෙනු ඇතැයි විචාරක මතය වී තිබේ.

සිව්වැනි කඩුල්ලට මැතිව්ස්ගේ දැවී යෑමෙන් පසු පිටියට පැමිණි විගසම, නේතන් ලයන් හමුවේ හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමින් ආක්‍රමණශීලී පිතිහරඹයකට පිවිසි දිනේෂ් චන්දිමාල් දිනය නිමා වෙද්දී නොදැවී ලකුණු 118 රැස් කර සිටින අතර, රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 7ක් ලබා සිටී.

ඔස්ට්‍රේලියා පන්දු යවන්නන්ට තාක්ෂනික ප්‍රහාර එල්ල කරමින් මුහුණ දුන් චන්දිමාල් තම 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර, 68 වැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් ටෙස්ට් ලකුණු 4500 පසු කළ ශ්‍රී ලංකාවේ 11 වැනි ක්‍රීඩකයා බවට පත් වූවේය. චන්දිමාල් ලකුණු 11ක් රැස් කර සිටියදී නේතන් ලයන්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමේදී කේරී අතින් පහසු ‘ස්ටම්ප්’ කිරීමක් ගිලිහී යෑම ඔහුට වාසනාව උදා කිරීමක් විය.

චන්දිමාල් සමඟ එක් වූ කෝඩුකාර කමිඳු මෙන්ඩිස් ඔස්ට්‍රේලියානුවන් අන්ද මන්ද කරමින් මිනිත්තු 161කදී, පන්දු 110කට මුහුණ දී හතරේ පහර 6ක් ද සමඟ අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර, ස්වෙප්සන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 61කට දැවී ගියේය. ඔහු මිනිත්තු 197ක් රැඳී සිටිමින් පන්දු 137කට මුහුණදී සිටි අතර, හතරේ පහර 7ක් එල්ල කොට තිබිණි. චන්දිමාල් සමඟ 5 වැනි කඩුල්ලට ලකුණු 133ක සම්බන්ධතාවක් ගොඩනැඟීමට කමිඳු මෙන්ඩිස් එක් වූ අතර, තවත් ලකුණු 29ක් එක් වූයේ නම් 5 වැනි කඩුල්ලේ නව ශ්‍රී ලංකා ටෙස්ට් සබඳතාවේ වාර්තාව වසර 10කට පසු බිඳ වැටීමට ඉඩ තිබිණි. ඩිල්ෂාන් සහ මැතිව්ස් 2012දී හෝබාට්හිදී 5 වැනි කඩුල්ලට ලකුණු 161ක් එක් කිරීම මෙතෙක් එම කඩුල්ලට ශ්‍රී ලංකාවේ ඇති හොඳම ලකුණු සබඳතාව වේ.

ඊයේ තෙවැනි දිනයේ ලකුණු 2ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක්වෙද්දී ලකුණු 85ක් රැස් කර සිටි කුසල් මෙන්ඩිස් දවා ගැනීමට නේතන් ලියොන් සමත් වූ අතර, මෙන්ඩිස් පන්දු 161කට මුහුණ දී හතරේ පහර 9ක් එල්ල කර තිබියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු විණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 52කට ක්‍රීඩා කර ඇති කුසල් ඊයේ වාර්තා කළේ තම 14 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

දිවා ආහාරයෙන් පසුව අන්ජලෝ මැතිව්ස් සිය 38 වැනි අර්ධ ශතකය වාර්තා කළ නමුත් ඊළඟ ඕවරයේදී මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ ‘ෆෝවර්ඩ් ෂෝට් ලෙග්’හී සිටි මානස් ලැබුෂේන්ගේ විශිෂ්ට උඩපන්දු රැකීමක් හමුවේ ලකුණු 52කට දැවී ගියේය. මැතිව්ස් දැවී යන විට මිනිත්තු 163කදී පන්දු 117කට මුහුණදී හතරේ පහර 4ක් සිය ඉනිමට ඇතුළත් කළේය. මැතිව්ස් සහභාගී වූ අවසන් ටෙස්ට් තරග 4කදී ලකුණු 435ක් රැස් කර තිබීම විශේෂත්වයකි. එයට ශතක 2ක් හා අර්ධ ශතකයක් ඇතුළත් විය.

ගාලු තණතිල්ලේ උපරිම දඟ කැවීමක් ලබා ගන්නා නේතන් ලියොන්, පන්දුව තියුණු ලෙසින් දඟ කවමින් පන්දු යවද්දී නිරෝෂන් දික්වැල්ල එල්ල කළ පහර ‘මිඩ් ඕන්’හී සිටි පැට් කමින්ස්ගේ අතටම පැමිණීමෙන් ලකුණු 5කට දැවී ගියේය. ඔස්ට්‍රේලියාව පන්දු යවන්නන් 7ක් යෙදවූ අතර මිචෙල් ස්ටාක්, නේතන් ලියොන් හා මිචෙල් ස්වෙප්සන් කඩුලු 2 බැගින් බිඳ හෙළා ස්ර්ථක ප්‍රතිඵල නෙළා ගත්හ. සිය මංගල ටෙස්ට් තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය 118කට කඩුලු 6ක් බිඳ හෙළා ඔස්ට්‍රේලියා පළමු ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 66ක් තුළ දවා ගැනීමට දායකත්වය දුන්නේය.

තරගයේ සිව්වැනි දිනය අදයි.

Leave a Reply

Your email address will not be published.