ගොවිජන සේවා මධ්‍යස්ථානවලට යූරියා බෙදීම අද සිට ඇරඹේ

ඉන්දීය රජය විසින් දී තිබෙන යූරියා පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම අද (12) සිට ඇරැඹෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි. මේ පොහොර තොග ප්‍රවාහනයට ලොරි රථ 800ක් යොදවා ඇති අතර, එම ලොරි රථ GPS තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණයට පියවර ගෙන ඇත.

පෙරේදා (10) සිට මේ යූරියා පොහොර තොගය කොළඹ වරායෙන් ගොඩබෑමේ කටයුතු ආරම්භ වූ අතර, එම කටයුතු පැය 24 පුරාම සිදු කෙරේ. දින 10කදී මේ ගොඩබෑමේ කටයුතු අවසන් කිරීමට නියමිතය.

පොහොර බෙදා හැරීම් භාරව සිටින ලංකා කොමර්ෂල් පොහොර සමාගම විසින් එම පොහොර තොගය දිවයින පුරා බෙදා හැරීමට විධිමත් වැඩපිළිවෙළක් අරඹා ඇත. යුරියා පොහොර බෙදා හැරීමේ කටයුතු විධිමත්ව සිදු වන්නේ ද යන්න කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ පූර්ණ අධීක්ෂණය මත සිදු කෙරේ.

ඊයේ (11) ඇමැතිවරයා මේ සම්බන්ධව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරයාට උපදෙස් දුන් අතර, ඒ අනුව අදාළ යූරියා පොහොර තොගය බෙදා හැරීම් කටයුතු අද (12) පෙරවරුවේ සිට ආරම්භ කිරීමට නියමිතය.

මේ පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අන්තර්ජාතික රසායනාගාර 03කින් රසායනික වාර්තා ලැබී ඇත. එම වාර්තා තුනෙන්ම මේ පොහොරවල අඩංගු බයියුරේට් ප්‍රතිශතය 1%කට වඩා අඩු බව තහවුරු කර ඇත. එසේ වුවද ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් ද මෙරට ප්‍රමිති සහතිකය ගැනීමට පියවර ගෙන තිබේ. එම ප්‍රමිති සහතිකය ඊයේ (11) පස්වරුවේ ලැබීමට නියමිතව තිබූ අතර, එම සහතිකය ලැබීමෙන් අනතුරුව බෙදා හැරීම් කටයුතු ආරම්භ වනු ඇත. එසේ වුවද යූරියා පොහොර බෙදා හැරීමට අවශ්‍ය මුලික කටයුතු ආරම්භ කරන ලෙස ජාතික පොහොර ලේකම් කාර්යාලය කොමර්ෂල් පොහොර සමාගමට උපදෙස් දී ඇත.

මේ යූරියා පෙහොර ප්‍රවාහනයේ දී යම් අක්‍රමිතතා සිදුවීමට ඉඩ ඇති බැවින් එය වළක්වා ගැනීමට සියලු නිලධාරීන් අඛණ්ඩව අවධානයෙන් කටයුතු කරන ලෙස කෘෂිකර්ම ඇමැතිවරයා උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published.