ප්‍රභූ පර්යන්තයෙන් ආගමන විගමන නිලධාරීන් ඉවත් වෙයි


කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා “සේද මාවත” මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් අද අලුයම 12.00 සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින අස්ථාවර, අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් සහ චෝදනාවට ලක් වූ හිටපු දේශපාලන ප්‍රභූවරුන් විශාල වශයෙන් රටින් පිටවීමට මෙම සේද මාවත නිශ්කාශන පර්යන්තය භාවිතා කිරීමට ඉඩකඩ ඇති නිසා තමන් මෙම පියවර ගත් බවයි ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්.කණුගල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙවැනි මුදල් ගෙවා භාවිතා කරන ප්‍රභූ පර්යන්ත, එම ගුවන් තොටුපළ තුළ පවත්වා ගෙන යාමක් සිදු නොවන බවට තොරතුරු වාර්තා වන්නේ.

ඉකුත් ජුනි මස 06 වෙනිදා සිට 20 වෙනිදා දක්වා මෙරට පැවති හර්තාල් සමය තුළ ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ (VIP Lounge) සහ සේද මාවත (Silk Route) රාජකාරී කටයුතු වලින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් වී සිටීමට පියවර ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published.