වැඩ බලන ජනපති අගමැති ද? කථානායක ද?

ජනපති ගෝඨාභය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ විට එම අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධුරය දරන තැනැත්තා නිල බලයෙන් වැඩබලන ජනාධිපති ධුරයට පත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඒ් වන විට අග්‍රාමාත්‍ය ධුරය ද හිස්ව පැවතියහොත් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා වන බවද ඒ් මහතා පැවසීය.

ඒ් අනුව ජනාධිපතිවරයා අද ඉල්ලා අස් වීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අග විනිසුරුවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඕනෑම විනිසුරුවරයකු ඉදිරියේ වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් දිව්රුම් දිය හැකි බවත් ඒ් සඳහා අගවිනිසුරුවරයාගේ ආරාධනයක් අවශ්‍ය නැති බවත් රාජපක්ෂ මහතා කීය.

වැඩබලන ජනාධිපතිවරයා මසක් ඇතුළත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපති ධුරය සඳහා තෝරා පත් කර ගත යුතු අතර ඒ් සඳහා ඔහු ප්‍රකාශිත වලංගු ඡන්දයෙන් සියයට පනහක් ගත යුතු වේ. ජනාධිපති ධුරය සඳහා තවත් අයගේ නම් යෝජනා වුවහොත් එම ඡන්දය ගණන් කිරීම ව්‍යාකූල ක්‍රමවේදයක් බවත් අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේය. එවිට අඩු ඡන්ද සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා තරගයෙන් ඉවත් කර ඔහු 1, 2, 3, 4 වශයෙන් ගත් මනාප ඡන්ද අනෙක් අපේක්ෂකයන්ට එකතු කරමින් සියයට පනහ දක්වා ගණනය කළ යුතු බවත් ඇමැතිවරයා පැවසීය. කිසිවෙකු සියයට පනහක් ගෙන නොමැති නම් වැඩිම ඡන්ද ගත් අපේක්ෂකයා ජනාධිපති ධුරයට පත් වන බවත් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී දේශපාලන පක්ෂ වශයෙන් නොව පුද්ගලයා වශයෙන් ඉදිරිපත් කළ යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු යෝජනා කර ස්ථිර විය යුතු බවත් කීය.

මේ වන විට ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීම මෙම 20 වැනිදා ට නියම කර ගෙන ඇති බවද ඒ් මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒ්කනායක මහතා ‌පෙරේදා (11) කළ විමසුමකට පිළිතුරු යවමින් නිතීපති සංජය රාජරත්නම් මහතා සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට පෙර එම ධුරය පුරප්පාඩු වූවොත් එම දිනයේ සිට නව ජනාධිපතිවරයකු පත් වන තෙක් අතර කාලය තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 38(1) ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බැලිය යුතු බවයි.

ඒ් අතරතුර පාර්ලිමේන්තුව එහි මන්ත්‍රීවරුන් අතරින් ජනාධිපති ධුරය සඳහා තෝරා පත් කර ගැනීමට සුදුසු කම් ඇති මන්ත්‍රීවරයෙකු රහස් ඡන්දයක් පවත්වා වැඩි ඡන්දයෙන් ජනාධිපතිවරයා ලෙස පත් කර ගත යුතු බවත් එසේ පත් වන ජනාධිපතිවරයා ධුර කාලයේ ඉතිරි කාලය සඳහා පමණක් ධුරය දැරිය යුතු බවත් එම තෝරා ගැනීම ධුරය හිස් වී මසක් ගත වීමට පෙර කළ යුතු බවත් නීතිපතිවරයා සඳහන් කර තිබිණි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම ධූරයෙන් ඉල්ලා අස්වුව හොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා බවට‍ පත් වන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වුවද අගමැතිවරයා සිය ධූරයේ තවමත් සිටින බැවින් මෙලෙස අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා බවට පත්වීම නිතැතින්ම සිදු වන බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වීම සිදු වුව හොත්, පවතින තත්ත්වය යටතේ රට අස්ථාවර වීම වැළැක්වීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ව්‍යවස්ථානුකූලව ගතහැකි සියලු පියවර මේ වනවිට‍ ගෙන ඇති බවද ඒ මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 13 වැනිදා ධූරයෙන් ඉවත් වන බවට කථානායකවරයා ලෙස තමන් වෙත දැනුම් දී ඇති බැවින් අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාව සහ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට අනුකූලව ඉතාම කෙටි කලකින් කළ යුතු බව පක්ෂ නායකයන් අවධාරණය කළ බව කථානායක මාධ්‍ය ලේකම් ඉඳුනිල් අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව 15 වැනි සිකුරාදා පාර්ලිමේන්තුව කැඳවා අදාළ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව 19 වැනි අඟහරුවාදා නාම යෝජනා කැඳවීම කර පවතින නීති ප්‍රතිපාදන අනුව 20 වැනි බදාදා ඡන්දයක් පවත්වා අභිනව ජනාධිපතිවරයා පත්කර ගැනීමට අවශ්‍ය පියවර සැලසුම් කර ඇත.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත බාර දුන් වහාම ඒ පිළිබඳ කථානායකවරයා රට දැනුවත් කරන බව ඒ මහතාගේ මාධ්‍ය ලේකම් ඉඳුනිල් අබේවර්ධන මහතා අනාවරණය කළේය.

‍ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීම සිදු කිරීමෙන් පසුව නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු කටයුතු එදිනම (13) ආරම්භ කරන බවද ඒ මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට අද බාරදීමට නියමිතය.

එම ලිපියට ජනාධිපතිවරයා ඊයේ (12) පෙරවරුවේ අත්සන් තබා ඇතැයිද ආරංචිමාර්ගවලින් පැවසිණ. ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් පසු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ පිළිබඳ දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු වේ. මේ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ලබන 15 වැනිදා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇති බවද අබේවර්ධන මහතා කීය. අභිනව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා නාම යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ ඉන් අනතුරුව වේ.

Leave a Reply

Your email address will not be published.