අරගලකරුවන් ජනාධිපති මන්දිරයෙන් අරලියගහ මැඳුරෙන් ජනපති ලේකම් කාර්යාලයෙන් ඉවත් විය යුතුයි

අරගලකරුවන් ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය යන ස්ථානවලින් ඉවත්විය යුතු බවත් පාර්ලිමේන්තුවෙන් ජනාධිපති පත් කරගැනීමට නොහැකි නම් ඒ සඳහා සිවිල් ක්‍රියාකාරිකයකු ඉදිරිපත් කරන්න සූදානම් බවත් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (12) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමියෝ මෙසේද කීහ.

“ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාව අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) සියධූරයෙන් ඉල්ලා අස්වෙයි කියන බලාපොරොත්තුව අපි සෑම දෙනාගේම තිබෙනවා.

“ජනාධිපතිගේ ඉල්ලා අස්වීමත් සමඟම ගාලුමුවදොර අරගල බිමේ මේ දක්වා කැපවීමෙන් කටයුතු කළ හා කටයුතු කරන තරුණ සහෝදර සහෝදරියන්, සමස්ත ශ්‍රී ලංකාවේම ජනතාව යම් ආකාරයක සෑහීමකට පත්විය යුතුයි මේ ඉල්ලීම ඉටුවීම සම්බන්ධයෙන්. ඉන් අනතුරුව තමන්ගේ බලාපොරොත්තුව ඉටුවුණු පරිසරය යටතේ දැනට ජනතාවගේ සන්තකයට පත් කරගෙන තිබෙන ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ජාතික සම්පත් නිදහස් කළ යුතුයි. විපක්ෂ නායකත්වය ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ට අපි දන්වා සිටිනවා තමන්ගේ පක්ෂ අරගලය නවත්වා, බල අරගලය නවත්වා එකඟතාවයකට පත්විය යුතුයි කියා. ජනාධිපතිවරයා පත්කරගැනීමේදී පොදු එකඟතාවකට පත්වෙන්න බැරිනම් අපි සූදානම් ඒ සඳහා සුදුසු පුද්ගලයෙක් ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට පැවරෙනවා වගකීමක්, පක්ෂ නායකත්වයට පැවැරෙනවා වගකීමක් අපි ඉදිරිපත් කරන පොදු නායකත්වයට ඉඩදීම සඳහා තම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරවලින් අස්වුණාට පස්සේ අපි සූදානම් ඊට සුදුසු සිවිල් ක්‍රියාකාරකයන් ඉදිරිපත් කරන්න. ඒ පිළිබඳ අපි පක්ෂනායකයන්ට කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

“ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වුණේ සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්ද පදනම උපයෝගි කරගෙන ඒ බලය අවභාවිත කරමින්ය. අදවනවිට සිංහල ඡන්ද බලවේගය අහෝසියි.”

Leave a Reply

Your email address will not be published.