ඇඹිලිපිටියේ කුඩු ගබඩාව වටලයි

– පොලිසියට මීටර් 500යි 
– කෝටි 38ක හෙරොයින් අත්අඩංගුවට
– රෙදි බිස්නස් මුවාවෙන් අම්මයි පුතයි ගජරාමෙට ජාවාරම කරලා
– මහ මොළකරු ඩුබායි ‘හරක්කටා’ 

නිමි ඇඳුම් සහ ගමන් මලු නිෂ්පාදනය කිරීමේ ස්ථානයක් ලෙස පවත්වාගෙන යමින් මත්කුඩු තොග වශයෙන් ගබඩාකර රට පුරා බෙදා හරින රහසිගත ස්ථානයක් ඇඹිලිපිටිය පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (11) රාත්‍රීයේ වටලා රුපියල් කෝටි 38කට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 38යි ග්‍රෑම් 360ක් සමඟ මවක සහ පුතකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඹිලිපිටිය නගරයේ දෙවැනි පටුමගේ ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යාලය ආසන්නයේ පිහිටි නිවසක් තුළ මෙසේ හෙරොයින් තොග සඟවා බෙදා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

හතලිස් හය හැවිරිදි මව විසින් නිමි ඇඳුම් සහ ගමන් මලු නිෂ්පාදනය කිරීමේ කටයුත්ත සිදුකර ඇති අතර මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ විසි දෙහැවිරිදි පුතා විසින් බව විමර්ශනවලින් තොරතුරු අනාවරණය වී තිබේ. මෙම ජාවාරමට මොවුන් සමඟ ඥාති සහෝදරයෙක්ද සම්බන්ධ වී ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්ද ඊයේ දියත්කර තිබී ඇත.

මෙම ජාවාරමේ මහ මොළකරු ඩුබායි හී රැඳී සිටින හරක්කටා බවට තොරතුරු ද පොලීසියට ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

හරක්කටාගේ ඇණවුම්වලට අනුව පාකිස්තානයේ සිට මෙරට දකුණු මුහුදු තීරයට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවට පාකිස්තානුවන් විසින් හෙරොයින් තොග රැගෙන එනු ලබයි. එම හෙරොයින් දකුණු වෙරළට රැගෙන එන මෙරට ජාවාරම්කරුවන් එම හෙරොයින් තොග බෙදා හරින තෙක් සඟවා තැබීමට යොදාගන්නා එක් ස්ථානයක් ලෙස මෙම නිවස පොලීසිය විසින් හඳුනාගෙන තිබේ.

හෙරොයින් තොග මෙම නිවසේ සිට ප්‍රවාහනය කර ඇත්තේ නිමි ඇඳුම් හා ගමන් මලු ප්‍රවාහනය කරන මුවාවෙනි.

ඇඹිලිපිටිය පොලීසියේ විශේෂ කාර්‍යාංශ ඒකකයේ පොලිස් කොස්තාපල් 22608 අධිකාරී යන නිලධාරියාට මෙම මත්කුඩු ජාවාරම ගැන තොරතුරු ලැබී ඇති බව සඳහන්ය.

ඇඹිලිපිටියේ මූලස්ථාන පොලිස් ස්ථානයේ සිට කිලෝ මීටර් බාගයක් පමණ දුරකින් මෙම නිවස පිහිටා තිබේ.

විටෙන් විට මෙම නිවසට විවිධ වාහනවලින් පුද්ගලයන් පැමිණ ඇතත් ඒ ගැන කිසිවකුටත් සැකයක් ඇතිවී නැත්තේ නිමි ඇඳුම් සහ ගමන් මලු මිලදී ගැනීමට එසේ පිරිස් පැමිණෙන බව නිසා යැයි පොලීසිය කියයි.

මෙම සැකකාර මවත් පුතාත් මෙම නිවසේ රැඳී සිටින්නේ කුළියටය. මාස තුනකට පෙර එම නිවස කුළියට ගෙන පදිංචියට පැමිණ ඇතැයි පොලීසිය සඳහන් කරයි. ඊට පෙරද ඔවුන් පදිංචිව සිට ඇත්තේ ඇඹිලිපිටිය පරණ බස් නැවතුම් පොළ ආසන්නයේ නිවසක බවද පොලීසිය සඳහන් කරයි.

ඇඹිලිපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ මහතාගේ උපදෙසින් ඇඹිලිපිටිය මූලස්ථාන පොලීස් පරීක්ෂක තිලක් රත්නායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම කර තිබේ. ඉදිරි විමර්ශන සඳහා සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.