පසුගිය අප්‍රේල් මාසයෙන් පසු පළමුවරට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකා ඩොලර් 100ට වඩා අඩු වීමෙන් පැය විසිහතරක් ගත වීමට පෙර යළි ඩොලර් ශත 73කින් ඉහළ ගිය බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. ඒ අනුව ඊයේ වන විට බ්‍රෙන්ට් මිල දර්ශකයේ බොරතෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඩොලර් 100.22ක් වශයෙනි. එය 0.7%ක ඉහළ යෑමක් බව ද වාර්තා වේ. ඊට සාපේක්ෂව අමෙරිකාවේ මිල දර්ශකයේ බොරතෙල් මිල ඩොලර් ශත 68කින් ඉහළ ගොස් ඇති අතර, ඊයේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.52ක් ලෙස සටහන් වී තිබේ.
යුක්රේන යුද අර්බුදයෙන් පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බැවින් ඉදිරි දින කිහිපය ඇතුළත නැවත මිල ගණන් සුළු වශයෙන් අඩු වීමට හෝ වැඩි වීමට ලක්වනු ඇතැයි ද රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.