‘‘ජනපතිකම බාර ගන්න සූදානම්‘‘

සමගි ජනබලවේගයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණ හොත් ජනාධිපති ධුරය බාරගැනීමට  සූදානම් බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද පැවසීය.

අගමැති ධුරය බාරගන්නා ලෙසටත් දිගින් දිගටම පොහොට්ටුව පාර්ශවයෙන් තමන්ට ආරාධනා ලැබෙමින් තිබෙන බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

රට බලාපොරොත්තු වන ප්‍රගතිශීලී දේශපාලන වැඩපිළිවෙළක් සඳහා තමන්ට සහයෝගය ලබාදීම සඳහා පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස් දිනපතා තමන්ට කතා කරන බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

රාජපක්ෂවරු, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූෂිත දේශපාලනය නිමා කළත් ඊළඟට පත්වන්නේ ද දූෂිත දේශපාලනඥයන් බැවින් ජනතාව අපේක්ෂා කරන පාලනය ඉන් බිහි නොවන බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසීය.

යුද්ධයට නායකත්වය දීමේ දී ද තමන්ට නොයෙකුත් අභියෝගය එල්ල වූ බවත් රට වෙනුවෙන් අභියෝග භාරගැනීමට තමන් පසුබට නොවන බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

ඔහුට ලැබෙන ආරාධනා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂය දැනුවත් කළේද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමන්ගේ පෞද්ගලික දේශපාලන සාකච්ඡා සියල්ලම පක්ෂ නායකත්වය දැනුවත් කිරීම අනවශ්‍ය බවයි.

තමන්ට රට වෙනුවෙන් වගකීම් බාර දෙන්නේ නම් අරගලකරුවන්ගේ අරමුණ ජයග්‍රහණය කර රට ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් ෆොන්සේකා මහතා එහිදී කීවේය. ජනාධිපති මන්දිරයේ අරලියගහ මන්දිරය භාරදීම සඳහා හදිසි නොවන ලෙසත් දේශපාලඥයන් තීන්දු ගැනීමෙන් පසු හරි වෙලාවට ඒවා භාර දීමට කටයුතු කරන ලෙසත් අරගල කරුවන් ගෙන් ඉල්ලීමක් කරන බවත් ෆොන්සේකා මහතා එහිදී සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published.