කෝටි 34ක රන්-මැණික් සැකකරු සමඟ අත්අඩංගුවට

ගාලු කොටුවේ රන් ආභරණ අලෙවිසලක් බිඳ රන් සහ මැණික් තොගයක් සොරා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ ගාල්ල පොලීසිය සොරා ගත් රුපියල් කෝටි 34ක රන් ආභරණ සහ මැණික් සමඟ සැකකරු පෙරේදා (13) අත්අඩංගුවට ගෙන තිබේ.

මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් වන මෙම සැකකරු 42 හැවිරිදි දෙදරු පියෙකි. ගාල්ල උඩුගම 18 කණුවේ පදිංචි කරුවකු වන ඔහු මෙම සොරකම සිදුකර ඇත්තේ පසුගිය (03) වැනිදා අලුයම් කාලයේදීය.

මෙම රන් ආභරණ වෙළෙඳසල ඉදිරිපිටින් ගමන් කිරීමේදී ඊට ඇතුළු වී රන් භාණ්ඩ සොරා ගැනීමට අදහසක් පහළ වූ බැවින් තමා තනිවම පැමිණ වහලෙන් බැස භාණ්ඩ සොරා ගත් බව සැකකරු පොලිසිය කළ ප්‍ර්‍රශ්න කිරීමේදී පවසා තිබේ. මෙතරම් වටිනා භාණ්ඩ තොගයක් තමාට සොරා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස නොකළ බැවින් එම භාණ්ඩ තොගය දැක තමා පුදුමයට පත්වූ බව සැකකරු පොලිසිය හමුවේ පවසා තිබේ.

සොරාගත් රන් භාණ්ඩ සහ මැණික් ගල් තොගය පොලීසිය සොයාගෙන ඇත්තේ ඔහු පදිංචි නිවෙස ඉදිරිපිට වත්තේ ස්ථාන තුනක වළදමා තිබියදීය.

ගමන් මල්ලක් කරේ දමා ගෙන අලුයම 1.00ට පමණ ඔහු රන් ආභරණ වෙළෙඳ සලට ඇතුළු වී පිටව යන්නේ අලුයම 3.30ට පමණය. ඒ බව අවට වෙළෙඳ සල්වල සවිකර ඇති ආරක්ෂක කැමරාවල පටිගත වී ඇති දත්තවලින් පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

දෙමහල් ගොඩනැගිල්ලක් වූ මෙම රන් ආභරණ වෙළෙඳ සල පිහිටි ගොඩනැඟිල්ලට ඔහු ඇතුළු වී ඇත්තේ බිත්ති දිගේ බඩගාමින් දෙවැනි මහලේ වහලට ගොඩවෙමිනි. එම වහලය ඇස්බැස්ටෝස් සහිත වහලකි. එක් ස්ථානයකින් ඇස්බැස්ටෝස් තහඩුවක් ගලවා ඉවත් කර අනතුරුව සිවිලිම බිද සිවිලිමට යටින් ඇති ආරක්ෂක දැල ද කපා දමා ඔහු ගොඩනැඟිල්ලට ඇතුළු වී ඇතැයි පොලීසිය කියයි. පසුව දෙවැනි මහලට ඇතුළු වී ඇත්තේ ද එහි සොල්දරේ ඇති ලෑලි කඩා සිදුරක් සකස් කරමිනි. ඊට හේතු වී ඇත්තේ දෙවැනි මහල සහ පළමු මහල අතර ගමන් කිරීමට ඇති දොරවල් යකඩ ගේට්ටු දමා වසා තිබීම නිසාය.

රන් ආභරණ අලෙවි සලට ඇතුළු වීමෙන් පසු මුලින්ම ඔහු කර ඇත්තේ ආරක්ෂක කැමරා අක්‍රිය කිරීමය. අනතුරුව විදුලිය විසන්ධිකර තිබේ. රාක්කවල ප්‍රදර්ශනයට තබා තිබුණු සියලුම භාණ්ඩ ඔහු ගමන් මල්ලෙහි දමාගෙන ඇත්තේ පසුවය. කෝටි 34කට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ සහ මැණික් ගල් තොගයක් පැය දෙකහාමාරක් වැනි කාලයක් තුළ සොරාගත් ඔහු එම ස්ථානයෙන් නිරුපද්‍රිතව පලා ගොස් ඇත්තේ ද පැමිණි ස්ථානයෙන්ම රිංගාය.

මාක්ස් පැලඳ හඳුනා ගැනීමට නොහැකිවන අයුරින් ඔහු ජුවලරියට ඇතුළු වී රුපියල් කෝටි 34ක් සොරා ගෙන ගියද ඔහුගේ ගමන් මඟ වෙනත් ආයතනවල ආරක්ෂක කැමරාවල සටහන් වී තිබීම හේතුවෙන් ඒ ඔස්සේ යමින් කෙරුණු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඔහුව හඳුනා ගැනීමට පොලීසියට හැකියාව ලැබී තිබේ.

ගාල්ල දිස්ත්‍රීක් 1 පොලිස් අධීකාරී උපුල සෙනෙවිරත්න මහතාගේ මෙහෙය වීමෙන් ගාල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාපති ද සිල්වා අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සහ පොලිස් පරීක්ෂක වසන්ත ඇතුළු කණ්ඩායමක් දීර්ඝ ලෙස කළ විමර්ශනයකින් අනතුරුව මෙතරම් කෙටිකාලයක් තුළ ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

මත්කුඩු ගැනීමට දඩල්ල ප්‍රදේශයේ යම් ස්ථානයකට පැමිණෙන බවට ලද තොරතුරකට අනුව පෙරේදා (13) ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතා සමඟ පොලිස් කණ්ඩායම සැකකරු ගමන් කරන බස් රථය හඹා ගොසිනි. එම අවස්ථාවේදීත් ඔහුගේ කලිසම් සාක්කුවේ රුපියල් 50,000 ක මුදල් තිබී ඇත. ඒ සොරා ගත් රන් භාණ්ඩයක් උකස්කර ගත් මුදලකි.

මෙම සොරකමින් පසු ඔහු දිනකට රුපියල් 25,000ක පමණ මත්කුඩු භාවිතා කිරීමට පටන් ගෙන ඇති බවද සඳහන්ය. උකස් කර තිබුණු රන් භාණ්ඩ කිහිපයක්ද පොලීසිය සැකකරුගේ ප්‍රකාශ මත සොයා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.