පාර්ලිමේන්තුව අල්ලන්න ගිය අරගලකරුවන් හමුදාවට පොලීසියට පහර දී T56 ගිනි අවි 2ක් පැහැරගෙන

– හමුදාවේ පොලිසියේ දෙදෙනකුට බරපතළයි
– පෙරේදා ගැටුම්වලින් 82කට තුවාල හමුදාවේ-පොලීසියේ 30ක් තුවාල ලබති
– පතරොම් ගැබ් 2ක් අතුරුදන්

පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ සූදානමින් පෙරේදා (13) පොල්දූව හන්දියට රැස්වූ අරගලකරුවන් අතර සිටි ප්‍රචණ්කාරී ලෙස හැසිරුණු පිරිසක් හමුදාවේ සාමාජිකයන් දෙදෙනකුට සහ පොලිස් නිලධාරියකුට අමානුෂික ලෙස පහරදී හමුදා සාමාජිකයන් දෙදෙනා සතුව තිබුණු ටී 56 අවි දෙක පතුරම් ගැබ් සමඟ පැහැරගෙන ගොස් තිබේ.

හමුදා සාමාජිකයන් දෙදෙනාත් පොලිස් නිලධාරියාත් බරපතළ තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කරනු ලැබුවේ බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දී එම ප්‍රහාරය එල්ලවී ඇති බවය. ප්‍රචණ්ඩකාරී පිරිසක් එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිලධාරීන් සමඟ ගැටුමක් ඇතිකර ගැනීමට උත්සහ ගත් අවස්ථාවේදී එය පාලනය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවද ඔහු සඳහන් කෙළේය. හමුදා සාමාජිකයන් දෙදෙනාට සිහිසුන් වන තුරු යකඩ පොලු සහ පොලු මුගුරුවලින් පහරදී ඔහුන් සතුව තිබුණු ටී 56 අවි දෙක පැහැරගෙන ගොස් ඇති බවද බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසීය. එම ගිනි අවි භාවිතාකර ප්‍රචණ්ඩත්වය පැතිරවීමේ අවදානමක් ඇති බැවින් ඒ ගැන කල්පනාකාරී වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ පාර්ලිමේන්තු පිවිසුමේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළෙකුට පෙරේදා රාත්‍රීකාලයේ පහරදුන් විරෝධතාකරුවන් පිරිසක් එම හමුදා සෙබළ සතුව තිබුණු ටී 56 අවිය පැහැරගෙන ගොස් ඇතැයි බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති බවයි. එම ගිනි අවිය සමඟ පතොරම් 60ක් පිරවූ පතොරම් ගැබ් දෙකක්ද පැහැර ගෙන ගොස් ඇති බවද එම පැමිණිල්ලෙහි සඳහන්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කෙළේය. තුවාල ලබා සිටින එම සෙබළා වැල්ලවායේ පිහිටි හමුදා කඳවුරකට අනුයුක්ත අයෙකි.

හමුදාවේ සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වන පොල්දූළු හන්දියේ දී කළහාකාරී වූ අරගලකරුවන් පිරිසක් විසින් පොලිස් නිලධාරියකුටද අමානුෂික ලෙස යකඩ පොලුවලින් පහරදී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කීය.

එම පොලිස් නිලධාරියා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටින කොස්තාපල්වරයෙකි. අගමැති කාර්යාලය ඉදිරිපිට සහ පාර්ලිමේන්තු පිවිසුම අසලදී පෙරේදා (13) අතිවුණු නොසන්සුන් තත්ත්වයන් හමුවේ පොලිස් නිලධාරීන් 08 දෙනෙක් සහ හමුදාවේ සාමාජිකයන් 30 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද ආරක්ෂක අංශ තොරතුරු සඳහන් කෙළේය. ඒ අතරින් හමුදා සාමාජිකයන් 16 දෙනෙක් තුවාල ලබා ඇත්තේ පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේදීය.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් නාරාහේන්පිට පොලිස් රෝහලේත් හමුදා සාමාජිකයන් නාරාහේන්පිට පිහිටි හමුදා රෝහලේත් ප්‍රතිකාර ලබති.

මෙදින අරගලයට සම්බන්ධ වූ 82 දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතක රෝහලට ඇතුලත් කැර ඇත. එයින් 45 දෙනෙක්ම පාර්ලිමේන්තු පිවිසුමේදී ඇති වූ නොසන්සුන් තත්ත්වය හමුවේ තුවාල ලැබූවන්ය. බරපතළ තුවාළ ලැබූ නිලධාරීන් දෙදෙනාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published.