ජෝ බයිඩන් ඊශ්‍රායලයේ

මැදපෙරදිග සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට පැමිණියේය. ඇමෙරිකන් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඊශ්‍රායලයේ අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන යාර් ලුපිද් විසිනි.

ඊශ්‍රායලය දේශපාලන අර්බුදයක පැටැලී සිටින අතර, කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතකරයක් නොමැත. මෙම වසර අවසානයේ ඊශ්‍රායලයේ යළි මහ මැතිවරණයක් පැවැත්වෙන අතර එතෙක්, අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ යාර් ලුපිද් ය.

ඊශ්‍රායල අන්තර්වාර අග්‍රාමාත්‍ය ලුපිද් මණක් නොව, බටහිර ඉවුරේ පලස්තීන නාකයන් හමුවීමට ද බයිඩන් සූදානමින් සිටී. ඩිමොක්‍රටික් ජනාධිපති බැරැක් ඔබාමා ධුරය හොබවද්දී, ඔබාමාගේ දෙවැනියා, එසේත් නැතිනම් ඇමෙරිකා උප ජනාධිපතිවරයා වූයේ බයිඩන්ය. ඔබාමා පාලන සමයේ ඔබාමා මැදිහත් වී ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග අවුලට විසඳුම් ලබා දීමට උත්සාහ ගත්තේය.

කෙසේ නමුත් ඔබාමාගෙන් පසු බලයට ආ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පලස්තීනුවන් අමතක කරන සෘජුව සහාය දැක්වූයේ ඊශ්‍රායලයටය. එවකට ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ බෙන්ජමින් නෙදන්යාහුය. පලස්තීනුවන් ද අයිතිය ඉල්ලන ජෙරුසලම, ඊශ්‍රායලයේ අගන්‍රවර ලෙස නිල වශයෙන් නම් කළේ ද ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ 2021 දීය. එදා සිට ඔහු ඊශ්‍රායල පලස්තීන අර්බුදයට මැදිහත් නොවුණු බව පලස්තීනුවන් චෝදනා නගා තිබේ. බයිඩන් පලස්තීන නායකයන් හමුවීමට සූදානමින් සිටින්නේ එසේ චෝදනා එල්ල වන අවස්ථාවකය.

ඇමෙරිකන් ජනාධිපති ලෙස ජෝ බයිඩන්, මැදපෙරදිග සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මෙම සංචාරයේ දී බයිඩන් ඊශ්‍රායලයේ පමණක් නොව, සෞදි අරාබියේත් සංචාරය කිරීමට නියමිතය. බයිඩන්ගේ මෙම සෞදි සංචාරය ආන්දෝලනාත්මක එකක් වනු නිසැකය. තමන් සෞදියේ සංචාරයකට යන බව නිවේදනය කළ අවස්ථාවේ පටන් ඇමෙරිකා දේශපාලනයේත්, ජගත් දේශපාලනයේත් වැඩි අවධානයක් ඊට යොමු වී තිබේ.

2018 දී ඇමෙරිකන් තීරු ලිපි රචකයකු වුණු සෞදි ජාතික මාධ්‍යවේදී, ජමාල් කශොග්ජී, තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ දී ඝාතනය විය. ඔහුගේ සිරුර අතුරුදන් කිරීමට පවා ඝාතකයෝ සමත් වූහ. කශෝග්ජී සෞදියේ සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කළ අයෙකි. කශොග්ජීගේ ඝාතනය සිදුවූයේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අනුදැනුම මත පරිදි තුර්කි රජය විසින් තහවුරු කරනු ලැබුණි.

ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ සිටි රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ සෞදිය හෝ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් හෝ අමනාප කර ගැනීම කළ නොහැකි බවය. මෙය එවකට ප්‍රතිවාදීන් වූ ඩිමොක්‍රටික්වරුන්ගේ දැඩි විරෝධයට පවා හේතුවක් විය. සෞදිය දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළත්, ඒ ගැන කිසිදු අවධානයක් යොමු කිරීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළේ ද නැත.

2019 වසරේ ජනාධිපති අපේක්ෂකයයකු ලෙස තරග වදිද්දී බයිඩන් ප්‍රතිඥා දී තිබුණේ කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියට වන්දි ගෙවීමට සලස්වන බවය. ඝාතනයට ලක් වෙද්දී සෞදියෙන් පිටුවහල් වී සිටි කශොග්ජී ඇමෙරිකාවේ ‘වොෂින්ටන් පොස්ට්’ පුවත්පතේ තීරු ලිපි රචකයකු ලෙස කටයුතු කරන්න විය.

සෞදි සංචාරයේ දී කශොග්ජී ඝාතනය ගැන අවධානය යොමු වන්නේදැයි මාධ්‍යවේදීන් ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගෙන් විමසූ අවස්ථාවක බයිඩන් පවසා තිබුණේ සෞදියේ සංචාරයේ දී තමන් ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන් හමුවීමේ කිසිදු අදහසක් නැති බවය.

සෞදි සල්මාන් රජු අසනීප තත්ත්වයෙන් පසුවන බැවින්, නිල නොවන සෞදි පාලකයා ලෙස කටයුතු කරන්නේ සල්මාන් කුමරුන්ය. එසේ නම් බයිඩන් කුමරු හමු නොවී සිටින්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රශ්න කරන්න විය. ජනාධිපති බයිඩන්, සෞදිය බලා යන්නේ සෞදියේ පැවැත්වෙන ගල්ෆ් සහයෝගිතා සමුළුවට සහභාගී වීමටය. එම සමුළුවට සල්මාන් කුමරුන් ද සහභාගී වෙයි.

Leave a Reply

Your email address will not be published.