යුරෝ මුදල් ඒකකය වසර 20කට පසු ඩොලරයට වඩා පහළට

යුක්රේන යුද්ධයේ බලපෑම හේතුවෙන් විසිවසරකට පසු පළමුවරට යුරෝ මුදල් ඒකකය අමෙරිකා ඩොලරයට වඩා පහත වැටී ඇත. පෙරේදා බීබීසී පුවත් සේවය වාර්තා කළේ 2002 වසරෙන් පසු පළමුවරට යුරෝ මුදල් ඒකකය අමෙරිකා ඩොලර් ශත 99ක් දක්වා පහත වැටී ඇති බවය.

රුසියාව යුරෝපයේ බලශක්ති සැපයුම සීමා කරනු ඇතැයි බිය යුරෝ මුදල් ඒකකය අවප්‍රමාණය වීමට බලපෑ ප්‍රබලතම සාධකය වන අතර, යුරෝපීය මහ බැංකුව සහ යුරෝපයේ සෙසු රටවල මහබැංකු පොලී අනුපාත ඉහළ දැමීමෙන් ඉදිරියේදී යුරෝ මුදල් ඒකකය තවදුරටත් පහත වැටෙනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනාවැකි පළ කරති. මේ හේතුව මත ඩොලරය ශක්තිමත් වීමෙන් බොරතෙල් වැනි ඩොලර්වලින් මිල කරන භාණ්ඩ සඳහා ආනයනික වියදම් අධික වනු ඇතැයි ද, එමගින් යුරෝපයේ තෙල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි ද බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

තෙල් මිල ඉහළයෑමෙන් යුරෝපයේ බොහෝ රටවල් මේ වනවිටත් උද්ධමනය කරා ගමන් කරමින් සිටින අතර, සමස්ත යුරෝපයේ උද්ධමනය පසුගිය මාසයේදී 8.6% ක අගයක් ගත්තේය. මේ වසරේ ආරම්භයේ සිට ගත වූ මාස 6 ඇතුළත ඩොලරයට සාපේක්ෂව යුරෝ මුදල් ඒකකය 12%කින් පමණ පහත වැටී ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියති.

Leave a Reply

Your email address will not be published.