අරගලයේ සිටින තාරුණ්‍යයේ සිහින සැබෑ කිරීම අපේ වගකීමක්

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

ගෝල්ෆේස් පිටියේ අරගලයේ නියුතු තරුණ තරුණියන්ගේ දැක්ම සහ සිහින සැබෑ කිරීම, තම කණ්ඩායමට පැවරී තිබෙන අත්හළ නොහැකි වගකීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා (14) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මේ වන විට නයා ගුහාගත වී සිටියාට නැවත පෙනේ පිප්පීමේ ඉඩකඩ තිබෙන බවද කී ඒ මහතා, මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට නව ආර්ථික උපාය මාර්ගයක් අවශ්‍ය බවත් එම කටයුත්තේදී විදේශ රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් කියා සිටියේය. අරගලයේ කේන්ද්‍රය වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා වුවත්, අරගලයේ හරය, නව ආර්ථික උපාය මාර්ගික ප්‍රතිපත්තියක් කරා ගමන් කිරීම බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

69 ලක්ෂයක ජනවරමින් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කටයුතු සිදු වූයේ, ජනතාවගේ හඬට කන් නොදෙන, ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් නොගත් ආකාරයෙන් බව ද කී දිසානායක මහතා, ආර්ථික සහ සාමාජයීය වශයෙන් දැඩි ලෙස පීඩාවට පත් ජනතාව, විවිධ දේශපාලන සහ බහුජන ව්‍යාපාර, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැවැති පාලනයට එරෙහිව අරගලයක නියුතු වූ බව ද පැවසීය. එම පාලනය පන්නා දැමීමට අරගලකරුවන් ඉතා දුෂ්කරතා මධ්‍යයේ සටන් වැදුණු බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. ඔහු කීවේ, එම නිසා ජන පීඩක පාලකයන් සහ පාලනය අවසන් කිරීමට රටේ පොදු ජනතාවගේ නැඟිටීමට හැකියාව ලැබුණු බවයි. ඒ සඳහා දායක වූ සැමට ස්තුතිය පුද කරන බව ද ඒ මහතා කියා සිටියේය.

වත්මන් පාර්ලිමේන්තුවේ හඬත්, ජනතාවගේ හඬත් අතර විශාල පරතරයක් පවතින බවත්, මෙම තත්ත්වය ගැටලුකාරී බැවින් නව ජනවරමක් ගැනීමට කඩිනමින් ජනතාවට අවස්ථාව දිය යුතු බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.