‘ජාතික ඉන්ධන බලපත්‍රය’ වැඩපිළිවෙල හඳුන්වා දෙයි

ක්‍රමවත් ලෙස මහජනතාවට ඉන්ධන ලබාදීම සහ ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස QR කේතය භාවිතා කරමින් ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එය අද(16) ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ නමින් එළිදැක්විණි. 

‘ජාතික ඉන්ධන බලපත්‍රය’  ලබා ගැනීම සදහා fuelpass.gov.lk වෙබ් අඩවියේ ලියාපදිංචි විය හැකිය.  

ඉන්ධන පෝලිම් ලිහිල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ආයතනයේ(ICTA) තාක්ෂණික සහාය ඇතිව මෙම වැඩපිළිවෙල දියත් කෙරේ. 

ඒ අනුව යම් පුද්ගලයෙකු සිය ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ එක් වාහනයක් ලියාපදිංචි කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මෙම වැඩපිළිවෙල එළිදැක්වීමේ අවස්ථාවේ දී පැවසීය.

මීට අමතරව නම, ලිපිනය, දුරකථන අංකය, පාවිච්චි කරනු ලබන වාහනය වැනි තවත් තොරතුරු කිහිපයක් ඉදිරිපත් කළ යුතු වේ. එම ලියාපදිංචියෙන් පසු හිමිවන QR කේතය ඉන්ධන ලබා ගැනීමට ඉදිරිපත් කළ යුතු වේ. QR කේතය කෙනෙකුගේ ජංගම දුරකථනයේ තිර රුවක් ලෙස තබා ගත හැක. ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැති අයට QR කේතයේ මුද්‍රණ පිටපතක් ඔවුන් සමඟ තබා ගත හැකිය. 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වලින් පමණක් නොව ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වලින් ද ඉන්ධන මිලදී ගැනීමට රජය ජනතාවට ලබාදෙන එකම අවසරය මෙය බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මහජනතාවට තමන් වෙත පවරා ඇති QR කේතය භාවිතා කර අංක තහඩුවේ අවසාන අංකයට අනුව සතියකට දෙවරක් ඉන්ධන ලබා ගත හැකිය.

• 0, 1, හෝ 2 න් අවසන් වන අංක තහඩු:  සඳුදා සහ බ්‍රහස්පතින්දා

• 3, 4, හෝ 5 න් අවසන් වන අංක තහඩු:  අඟහරුවාදා සහ සිකුරාදා

• 6, 7, 8, හෝ 9 න් අවසන් වන අංක තහඩු:  බදාදා, සෙනසුරාදා සහ ඉරිදා

Leave a Reply

Your email address will not be published.