ආහාර හිඟයට පලා කැඩූ දරුවාට කිඹුල් ප්‍රහාරයක්


නිවසේ ඇති ආහාර හිඟයට පිළියමක් ලෙස පලා ටිකක් කැඩීමට දෙටගමුව වැවට ගිය පිරිසක් අතර සිටි 13 හැවිරිදි දරුවකු කිඹුලෙක් ඩැහැගෙන යද්දී අසල සිටි පිරිස වැවට පැන දරුවා බේරාගෙන ඇතැයි පොලිසිය කියයි.  

සිය පුංචි අම්මා ඇතුළු ඥාතීන් පිරිසක් සමග පලා කඩමින් සිටියදී එකවර වැවෙන් මතු වූ කිඹුලා දරුවා ඇදගෙන යද්දී අසල සිටි පිරිස  කෑමොර ගැසීම නිසා ඒ ආසන්නයේ නිවෙස් වල සිටි තරුණයන් පිරිසක්  වැවට පැන කිඹුලත්, ළමයත් ගොඩට ඇදගෙනවිත් දැඩි වෙහෙසක් දරා ළමයා මුදාගෙන කතරගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළහ.

සිය පුංචි අම්මත්, සීයත් නැන්දත් ඇතුළු අසල්වැසි පිරිසක් සමග පලා කඩමින් සිටියදී වැවෙි සිටි කිඹුලෙකු ගොඩට පැන දරුවාගේ වම් අතින් අල්ලා දියට පැන ඇත.

ළමයාගේ සීයා ඇතුළු පිරිස කිඹුලාත් සමග ළමයා ගොඩට ඇද ගෙන විත් වම් අතේ එල්ලී සිටි කිඹුලාගේ හිසට ගල්, පොලු වලින් පහර දී මුඛය විවරකොට මුදාගෙන ඇති නමුත් අත කැඩී එල්ලෙමින් පැවති බව ළමයා බේරා ගත් තරුණයෙක් පැවසීය.

මෙම ළමයා කතරගම රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ඒ අසල නිවසක ඉන්ධන හිඟකම නිසා නතර කොට තිබූ මෝටර් රථයකිනි.

රෝහලේ වෛද්‍යවරු මූලික ප්‍රතිකාර කොට ළමයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යැවීමට උත්සාහ ගෙන ඇතත් ගිලන් රථයේ ඉන්ධන නොමැති කම නිසා එය අසීරු වී තිබේ. මෙම අවස්ථාවේ ළමයාගේ මවු පියන් වාහනයක් සොයා දැඩි අසීරුවට පත්ව සිටියදී අයත් ලොරි රථයකින් දෙබරවැව මූලික රෝහල වෙත රැගෙන යාමට සිදුවූ බව මව්පියෝ පවසති.

Leave a Reply

Your email address will not be published.