බස් සහ දුම්රියට ඉන්ධන සීමාවක් නැහැ

ලංකා අයි.ඕ.සී. සමාගමෙන් බෙදුම්කරුවන්ට ලැබෙන ඉන්ධන සංචිතවලින් 10% ක් නිෂ්පාදන සහ සේවා අංශ වෙත ලබාදීමට තීරණය කර ඇති බව ලංකා අයි.ඕ.සී. බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
පවතින තත්ත්වය හමුවේ මෙම තීරණය ගත් බවයි එහි සභාපති සුසන්ත කෝසල විදානාරච්චි සඳහන් කළේ.
මේ අතර, ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක නෞකාවක් පෙරේදා (15) දිවයිනට ළඟා වූ අතර, තවත් නෞකාවක් අද (17) දිවයිනට ළඟාවීමට නියමිතයි.
එසේම, ඉන්ධන නෞකා දිවයිනට පැමිණියත් ජාතික ඉන්ධන අවසර පත් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන තෙක් සිපෙට්කෝ පිරවුම්හල් අසල පෝලිම්වල රැදී සිටීමෙන් වළකින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ ඉල්ලීමක් කළා.
ජාතික ඉන්ධන අවසර පත්‍රය fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීමෙන් ලබාගත හැකියි.
විදේශ විනිමය අර්බුදය හමුවේ ඉදිරියේදී ඉන්ධන භාවිතය යම් යම් සීමා කිරීම්වලට යටත් කිරීමට සිදුවන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ පැවති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත්, දුම්රිය සහ බස් ධාවනයට අවශ්‍ය කෙරෙන ඉන්ධන සීමාවකින් තොරව ලබාදීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published.