නියෝගය බලරහිත කරන්නැයි වවුනියාව මහාධිකරණයේ නඩු පවරයි
මුලතිව් තන්නිමුරුප්පු කුරුඳුමලේ ආදි ශිව අයියනාර් කෝවිලේ හා කුරුඳුමලේ බෞද්ධ සිද්ධස්ථානයේ අලුතින් ඉදි කරන ලද සියලු ඉදිකිරීම් වහාම ඉවත් කොට ඒ පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත් ආර්.ස්වර්ණරාජා මහතා 14 දා පොලීසියට නියෝග කළේය.
2022-06-16 දින ශිව කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් මුලතිව් අධිකරණයේ පනවන ලද අංක ඒ/ආර්/ 673/18 දරන නඩුව විභාග කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කොට තිබේ.
මෙම නඩුව ගොනු කිරීමට පෙර මුලතිව් අධිකරණය වෙත ගොනු කරන ලද නඩුවක් විභාග කළ මුලතිව් අධිකරණය එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු අලුතින් කිසිදු ඉදිකිරීමක් මේ ස්ථානයේ සිදු නොකරන ලෙසට ශිව කෝවිලේ භාරකරුවන්ට හා බෞද්ධ සිද්ධස්ථානයේ විහාරාධිපති හිමියන්ට නියෝගයක් නිකුත් කොට තිබූ අතර දෙපාර්ශ්වය විසින්ම එම නියෝගය කඩ කිරීම නිසා අධිකරණය එම අලුත් ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස නියෝග කොට තිබේ.
අධිකරණ තීන්දුව නිසා කුරුදුමලේ බෞද්ධ සිද්ධස්ථානයේ අලුතින් ඉදිකොට ඇති බුදු මැඳුරක් චෛත්‍යයක් හා තවත් ඉදිකිරීම් කීපයක්ද ශිව කෝවිලේ ඉදිකිරීම් රැසක්ද දැඩි අනතුරකට පත්ව තිබේ.
මේ තත්ත්වය මත මුලතිව් අධිකරණයෙන් නිකුත් කරන ලද එම නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා වවුනියාව මහාධිකරණයේ නඩු පැවරීමට පිරිසක් පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම ඉදිකිරීම් ඉවත් කොට ඒ පිළිබඳ වාර්තාවක් ජුලි මස 29 වෙනිදා වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත්වරයා මුලතිව් පොලීසියට නියෝග කොට ඇත.