ජීවන වියදමෙන් බැට කන ස්පාඤ්ඤ ජනතාවට රජයෙන් සහන රැසක්

  • සැප්තැම්බරයේ සිට කෙටි දුර ධාවන දුම්රියේ නොමිලේ ගමන්වාර
  • ශිෂ්‍යත්වලාභි සිසුසිසුවියන්ට යුරෝ 100 බැගින් දීමනා

දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින ස්පාඤ්ඤයේ ආර්ථික අර්බුදය හමුවේ ජීවන වියදම ඉහළ යෑමේහේතුවෙන් ජනතාව මුහුණ පා සිටින දුෂ්කරතාව මැඬ පැවත්වීමට එරට රජය පියවර රැසක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බලශක්ති හා ආහාර මිල ඉහළ යෑම නිසා පසුගිය මාසයේ ස්පාඤ්ඤයේ උද්ධමනය 10.2% කින් ඉහළ ගොස් ඇති අතර, ස්පාඤ්ඤයට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට සිදුවී ඇත්තේ වසර 37කට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ තත්ත්වය මත ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සැන්චෙස් පියවර රැසක් ගෙන ඇතැයි එරට රජය නිවේදනය කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ලබන සැප්තැම්බර් මාසයේ සිට වසර අවසානය දක්වා කෙටි හා මධ්‍යම දුර සීමා යටතේ ධාවනය කෙරෙන සියලුම දුම්රිය ගමන් සඳහා නොමිලේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇත. එරට දුම්රිය පද්ධතිය රජය සතු රෙන්ෆේ නමැති සමාගම විසින් මෙහෙයවනු ලබන අතර, නොමිලේ දුම්රිය ධාවනයට වැය වන මුදල එම සමාගම විසින් දරනු ලබන බව ද වාර්තා වේ. ජීවන වියදම උග්‍ර වීම හේතුවෙන් දැනටමත් ස්පාඤ්ඤය මේ ගමන්වාර සඳහා ජනතාවට 50% ක වට්ටමක් ලබා දී ඇත.

මීට අමතරව එරට පාසල් හා විශ්වවිද්‍යාලවල ශිෂ්‍යත්වලාභී සිසු සිසුවියන්ට යුරෝ 100ක දීමනාවක් ලබා දීමටත්, අඩුආදායම්ලාභීන්ට නිවාස 12,000ක් ඉදිකර දීමටත් ස්පාඤ්ඤ රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.