ශ්‍රී ලංකාව පාකිස්තානයට වඩා ලකුණු 333ක් ඉදිරියෙන්

සංචාරක පාකිස්තාන පිල හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකාව ලකුණු 333ක් ඉදිරියෙන් සිටියි. ඊයේ තරගය නතර කරද්දී ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 329ක් ලබා සිටියේය. කාසියේ වාසිය දිනාගත් හ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදී ලකුණු 222ක් වාර්තා කළ අතර, ඊට පිළිතුරු ලෙස පාකිස්තානය මුල් ඉනිමට ලකුණු 218ක් වාර්තා කළේය. ඒ අනුව පළමු ඉනිමේ ලකුණු 4ක සියුම් වාසියක් සමග දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිල පෙරේදා තරගය නතර කරද්දී කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබා සිටියේය.

ගාලු තණතිල්ල එන්න එන්නම කඩතොලු ස්වභාවයකට පත් වීම හේතුවෙන් දඟ පන්දු යවන්නෝ වැඩි වාසිගෙන මෙහි දස්කම් දක්වමින් සිටිති. එබැවින් තවත් දින දෙකක් ඉතිරිව තිබෙන මේ තරගය විවෘත තත්ත්වයකට පත්ව ඇති අතර, වැඩි වාසි ශ්‍රී ලංකාව පැත්තට බරව පවතී.

ශ්‍රී ලංකා ඉනිම කඩුලු 3කට ලකුණු 132ක් ලෙස තිබියදී කුසල් මෙන්ඩිස් සමග එක් වූ චන්දිමාල් ඊයේ දිනය නිමා වන තුරු එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් අනගි ඉනිමක් ගොඩ නැගීය. චන්දිමාල් තම 23 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 86ක් ලබා සිටී.

චන්දිමාල් පළමු ඉනිමේදී ලකුණු 76ක් ලබා ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ ආකාරයටම දෙවැනි ඉනිමේදී විශාල විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දෙමින් සිටී. චන්දිමාල් ගාලු ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළ අවසන් ඉනිම තුනෙන් ලකුණු 368ක් ලබා ඇති අතර, එය මේ තණතිල්ලේ පිතිකරුවකු විද්‍යමාන කළ විශේෂ දක්ෂතාවකි. ඔස්ට්‍රේලියාව සමග නොදැවී ලකුණු 206ක් ලබාගත් චන්දිමාල් එතැන් සිට තම අත්දැකීම් මනා ලෙස උපයෝගී කරගනිමින් ඉනිම ගොඩ නගන අයුරු ප්‍රසංශනීය තත්ත්වයකට පත්ව තිබේ.

ඕෂධ ප්‍රනාන්දු සහ කුෂල් මෙන්ඩිස් දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 91 ක සම්බන්ධතාව හේතුවෙන් ඊයේ දිවා විවේකය වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 2ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ හොඳම සම්බන්ධතාව තෙවැනි කඩුල්ලට ඕෂධ හා කුසල් එක් කිරීමට සමත් වූහ. ඕෂධ ප්‍රනාන්දු තම 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය සමග ලකුණු 64 ලබා ගැනීමට පන්දු 125කට මුහුණ දී හයේ පහරක් හා හතරේ පහර 6ක් එල්ල කළේය.

කුසල් මෙන්ඩිස් යසීර් ෂා එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර, ඔහු ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 76ක් එකතු කිරීමට සමත් විය. සිය 15වැනි ටෙස්ට් අර්ධ ශතකය සහිත ඉනිමේදී කුසල් පන්දු 126කට මුහුණදී හතරේ පහර 9ක් එල්ල කළේය. ඔහු සුපුරුදු රිද්මයට පැමිණ ඉනිම ගොඩ නගද්දී යෂීර් ෂාගේ නිවැරදි ඉලක්කයේ පතිත වූ පන්දුවෙන් ගැලවීමක් නොවිණි.

ධනංජය ද සිල්වාට ද යසීර් ෂාගෙන් හොඳ පන්දු යොමුවක් දක්නට ලැබිණි. ෂාගේ දඟ කැවෙන පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ධනංජයගේ ඉනිම ලකුණු 20කට සීමා වූ අතර, දික්වැල්ල හා රමේෂ් මෙන්ඩිස් දෙදෙනාගේම කඩුලු බිම හෙලීමට අනෙක් අන්තයෙන් පන්දු යැවූ මොහොමඩ් නවාස්ගේ දඟ පන්දු සමත් විය. දික්වැල්ල ලකුණු 12කට හා රමේෂ් ලකුණු 22කට දැවී ගියහ.

වසර 2016 සිට තවමත් ටෙස්ට් තරග 4ක් නියෝජනය කොට ඇති මොහොමඩ් නවාස් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවාගත් පළමු අවස්ථාව මේ තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම විය. ඔහු පළමු ඉනිමේදී දවාගත් කඩුල්ලත් සමග ටෙස්ට් ජීවිතයේ කඩුලු 11ක් පමණක් දවාගෙන ඇත. යෂීර් ෂා කඩුලු 3ක් හා හසන් අලී කඩුල්ලක් දවාගෙන සිටිති.

අද තරගයේ සිව්වැනි දිනයයි.

Leave a Reply

Your email address will not be published.