හදිසි නිතීය ගැසට් කෙරෙයි

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දිවයින පුරා බලාත්මක කර ඇති මහජන ආරක්ෂක ආඥා පනතේ අඩංගු නියෝග අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ යටතේ මහජන ආරක්ෂක ආඥා පනතේ අඩංගු අත්‍යවශය සේවා, සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් ඇතුළු කරුණු කිහිපයක අර්ථ නිරූපණ ඇතුළත්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාවේ මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වැනි වගන්තිය යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් මෙම නියෝග ඉදිරිපත් කරන බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
අත්‍යවශ්‍ය සේවාවක් ප්‍රමාද කරන, අවහිර කරන හෝ සීමා කරන්නෙකු මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට වසර 3ක් නොඉක්මනු කාලසීමාවකට බන්ධනාගාරගත කිරීමට යටත්විය යුතු බවයි එම නියෝගවල දැක්වෙන්නේ.
අදාළ නියෝග යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව වරදක් හා සම්බන්ධ බවට හෝ වරදක් කරනු ලැබූ බවට සැක කිරීමට හේතු ඇති යමෙකු සෝදිසි කිරීම, සෝදිසි කිරීම සඳහා රඳවා තබා ගැනීම ද සිදුකළ යුතු වනවා.
එවන් අයෙකු පැය 24ක් ඇතුළත ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත භාරදිය යුතු බවයි එහි දැක්වෙන්නේ.
මීට අමතරව, ජනාධිපතිවරයා විසින් කලින් කළ යම් ප්‍රදේශයක් තුළ මහජන පෙළපාලි හෝ මහජන රැස්වීම් පැවැත්වීම තහනම් කරනු ලැබිය හැකියි.
එහි 5 වැනි කොටසේ වැරදි සහ දණ්ඩන යටතේ දක්වා ඇති පරිදි දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති යටතේ යම් වරදක් සිදුකරන අයෙකුට ජීවිතාන්තය දක්වා හෝ වසර 20ක කාලයකට සිර දඬුවම් නියම කළ හැකි වනවා.
මහජනයා බියවැද්දිය හැකි හෝ පෙළඹවිය හැකි කිසිඳු කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් කට වචනයෙන් හෝ ඩිජිටල් ක්‍රමයකින් හෝ සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් කුමන හෝ ක්‍රමයකින් සන්නිවේදනය කිරීම කිසිදු තැනැත්තෙකු විසින් නොකළ යුතුයි.
එමෙන්ම හදිසි අවස්ථා නියෝග යටතේ වරදක් කිරීමට තැත් කිරීම පිළිබඳ සූදානමක් පිළිබඳව තොරතුරු දැන ගන්නා කවරෙකු වුව ද ඒ පිළිබඳ තොරතුරු වහාම ආසන්නතම ග්‍රාම නිලධාරියාට හෝ පොලිස් ස්ථානයට ලබාදිය යුතු වනවා.
එවැන්නක් ප්‍රතික්ෂේප කරන්නෙක් හෝ ඕනෑකමින් පැහැර හරින්නෙක් වරදකරුවෙකු වන බවයි අදාළ නියෝගවල දැක්වෙන්නේ.
මේ අතර සී. එන්. එන් . ප්‍රවෘත්ති සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ රජයේ ගොඩනැගිලි අත්පත් කර ගැනීමට හෝ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කරගන්නා වැඩ පිළිවෙළට බාධා කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවයි.

Leave a Reply

Your email address will not be published.