“ජනතාව පීඩා විඳින බව මම දන්නවා” රට ස්ථාවර වන දිනය ගැන රනිල් CNN වෙත කී කතාව

පසුගිය රජය මෙරට ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වන කරුණු වසන් කර ඇතැයි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

CNN සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව “බංකොලොත්” සහ “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යා යුතු බවට වන සත්‍යය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය ප්‍රකාශ නොකළ බව වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

“මම මිනිස්සුන්ට කියන්න කැමති යි, මම දන්නවා ඔවුන් පීඩා විඳිනවා කියලා. අපි ආප්පසට ගිහින් තියෙන්නේ. අපි මේකෙන් ගොඩ එන්න ඕනේ. අපිට අවුරුදු 5ක් හෝ 10ක් අවශ්‍ය නැහැ. ලබන අවුරුද්ද අග වෙද්දී අපි ස්ථාවර වෙන්න පටන් ගමු. අනිවාර්යයෙන් ම 2024 වෙද්දී වර්ධනය ආරම්භ වෙන ක්‍රියාකාරී ආර්ථිකයක් අත්පත් කරගමු.”

වැඩබලන ජනාධිපති ලෙස පත් කිරීමෙන් පසු වික්‍රමසිංහ මහතා CNN සමග කළ සම්මුඛ සාකච්ඡාව ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංවිධානයක් සමග ඔහු කළ පළමු සම්මුඛ සාකච්ඡාව වේ.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවෙන් මාලදිවයින වෙත පළා ගිය පසු තමන් ගෝඨාභය රාජපක්ෂ සමග කතා කළ බව ත් පසුව ඔහු සිංගපූරුව වෙත ගිය බව ත් ය.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා තවම ත් සිටින්නේ සිංගප්පූරුවේ ද, එසේ නැතහොත් වෙනත් තැනක ද යන්න තමන් නොදන්නා බව ඔහු CNN සමග ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති ධූරය සඳහා තමන් තරග කරන බව සඳහන් කර ඇති වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, තමන් “පැවති පාලනය” නොවන බව ය.

“මම කලින් පාලකයෝ වගේ නෙවෙයි, මිනිස්සු ඒක දන්නවා. මම ආවේ ආර්ථිකය හසුරුවන්න.”

තමන් ජනාධිපති වීමට අපේක්ෂා කරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ විට ඔහු සඳහන් කර ඇත්තේ, “රටේ මෙහෙම වෙනවට මම කැමති නෑ. මට වෙච්ච දේ අනිත් අය දුක් විඳිනවට මම කැමති නෑ… ඒකාන්තයෙන් ම මම කැමති නෑ වෙන කාටවත් එහෙම වෙනවට,” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published.