තොග තිබියදී ඉන්ධන බෙදා නොහරින බවට ටැංකි රථ රියදුරන්ගෙන් චෝදනා

ඛනිජ තෙල් සංස්ථාව සතුව ඉන්ධන තොග පැවතිය ද, ජනතාව අපහසුතාවයට පත් කරමින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුනොකරන බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි සම ලේකම් ඩී.වී.ශාන්ත සිල්වා සඳහන් කළේ ඉන්ධන බෙදා හැරීම සඳහා තම සංගමයේ ටැංකි රථ හිමියන්ට මේ දක්වා කැඳවීමක් සිදු කර නොමැති බවයි.
ජාතික ඉන්ධන අවසර පත්‍රය, ජූලි 25 වන සඳුදා සිට ක්‍රියාත්මක වනතුරු හෙට සිට සිපෙට්කෝ පිරවුම්හල් හරහා ඉන්ධන බෙදාහැරීමේදී වාහනයේ අවසන් අංකය අනුව රථවාහනවලට ඉන්ධන ලබාදෙන සීමාවන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ යතුරුපැදියකට උපරිම රුපියල් 1,500 ක සීමාවකට යටත්ව ඉන්ධන නිකුත් කෙරෙන අතර, ත්‍රිරෝද රථයකට ඉන්ධන ලබාදෙන්නේ රුපියල් 2,000 ක උපරිමයකට යටත්වයි.
අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000ක උපරිම මුදලකට යටත්ව ඉන්ධන නිකුත් කෙරෙනු ඇති.
ඒ අනුව 0, 1, 2 අංක සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින වෙන් කර ඇති අතර, 3, 4, 5 සඳහා වෙන් කර ඇත්තේ බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනයන්.
ඊට අමතරව අවසන් අංකය 6, 7, 8 සහ 9 යන අංක යෙදෙන රථවාහන සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා දින වෙන් කර තිබෙනවා.
ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය, කොළඹ නගරයේ ස්ථාන කිහිපයක හෙට සිට 24 වනදා දක්වා පරීක්ෂාවට ලක් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
අනතුරුව මෙම ක්‍රමවේදය මුළු දිවයින පුරාම ජූලි 25 වන සඳුදා සිට ක්‍රියාත්මක කෙරෙනවා.
කෙසේ වෙතත්, තවදුරටත් ජනතාව දිගු පෝලිම්වල රැදී සිටින්නේ ඉන්ධන ලබා ගැනීමේ අරමුණින්.
විශේෂයෙන් පෙර දිනවලට සාපේක්ෂව අද දිනයේදී ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.
ඇතැම් ප්‍රධාන මාර්ගවල එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර කරමින් ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැදී සිටිනු දක්නට ලැබුණා.

Leave a Reply

Your email address will not be published.