අන්තර් පාලනයකට සහාය දෙනවා

රනිල් වික්‍රමසිංහ මහතා ගොඩ නඟන්නේ අන්තර් පාලනයක් නම් එහි වැඩසටහන පිළිබඳ සොයා බලා විපක්ෂයේ සිට සහය දැක්විය හැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මෙහිදී ජනාධිපතිවරයා පළමුව අන්තර් පාලනයේ ආරම්භය සහ අවසන් වන දිනය පිළිබඳ දැනුම් දිය යුතු යැයිද ඔහු ප්‍රකාශ කළේය.

අනුර කුමාර දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ (21) බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිණි.

රට තුළ පවතින අප්‍රසන්න දේශපාලන පොරපිටිය පිරිසුදු දේශපාලන පොරපිටියක් බවට පත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය භාර ගැනීමට සූදානම් යැයි ද මෙහිදී කී ජාතික ජන බලවේගයේ නායකයා මේ 24 දා අභියෝග හමුවේ ඉදිරියට යෑම පිළිබඳ ජාතික ජන බලවේගයේ දැක්ම පිළිබඳ ආරම්භක සම්මන්ත්‍රණය මහරගම ජාතික තරුණසේවා සභාවේදි පවත්වන බව ද පැවසීය.

රටේ ජනතාවගේ අයිතිවාසිකම් කවර හෝ ආකාරයකින් මර්දනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වනවා නම් ඔහු සමඟ හැප්පීමට සූදානම් බව ද මෙහිදී ප්‍රකාශ කළ අනුර කුමාර දිසානායක මහතා මහ පොළොවේ ජනවරමක් නැති නායකයන් මර්දනය කෙරෙහි විශ්වාසය තබන බව ද කීය.

රාජපක්ෂ කඳවුර තීරණාත්මක ලෙස පරාජය කිරීමේ වගකීම ද ජාතික ජන බලවේගය භාර ගන්නා බව ද ඒ සඳහා සටන තීව්‍ර කරන බව ද මෙහිදී සඳහන් කළ දිසානායක මහතා ඒ සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතාවට නව ජන වරමක් සඳහා අවස්ථාව දිය යුතු යැයිද සඳහන් කළේය.

රනිල් – මහින්ද ප්‍රතිපක්ෂ කඳවුරු එක් වීම විගඩමක් බව ද කී ජාතික ජන බලවේගයේ නායකයා නයි, මුගටි එකතුවීමක් ලෙස ඩලස් කඳවුර පෙනෙන බව ද පැවසීය.

Leave a Reply

Your email address will not be published.