මැතිව්ස්ගේ 100 වැනි ටෙස්ට් තරගය බලන්න ගාල්ලේ විශේෂ කුටියක්

ඇරඹුමයි 100යි එකම පිටියේ

සංචාරක පාකිස්තාන ක්‍රිකට් පිල සමඟ අනිද්දා (24) ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගය ඇන්ජලෝ මැතිව්ස්ගේ සියවැනි ටෙස්ට් තරගය වන හෙයින් ඔහුගේ පවුලේ ඥාතීන් හා හිතවතුන් ඇතුළු ආරාධිතයන් සිය ගණනකට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආසන වෙන් කිරීමට පියවර ගෙන ඇත. ඇන්ජලෝ මැතිව්ස්ට වටිනා සිහිවටනයක් වන මේ සියවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නැරැඹීම උදෙසා පැමිණෙන අමුත්තන්ට, ක්‍රීඩකයන් වෙනුවෙන් ඇති ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ විශේෂ ඉඩකඩක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද අනුමැතිය දී ඇත.

එමෙන්ම 100 වැනි ටෙස්ට් තරගයට සහභාගි වීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ නියමය පරිදි විශේෂ සමරුවක් මැතිව්ස් වෙත ප්‍රදානය කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු සැලසුම් කොට ඇත.

ඇන්ජලෝ මැතිව්ස් වසර 2009 ජූලි 4 වැනිදා සිය මුල්ම ටෙස්ට් තරගයට සහභාගී වූයේ පාකිස්තානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වන අතර, ඔහුගේ සියවැනි ටෙස්ට් තරගය ද එම ක්‍රීඩාංගණයේ පාකිස්තාන පිලට එරෙහිව පැවැත්වීම දුර්ලභ සිද්ධියකි. ඒ අනුව මංගල ටෙස්ට් තරගය හා සියවැනි ටෙස්ට් තරගය යන දෙකම එකම ක්‍රීඩාංගණයක ක්‍රීඩා කළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනා අතරට මැතිව්ස්ගේ නාමය ද ලියැවේ. මේ දෙවැනි ටෙස්ට් තරගය මුලින් තීරණය වූයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට වුවද රටේ පවතින වාතාවරණය හමුවේ ගාල්ල ක්‍රීඩා පිටියේදීම අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කළේය. එය මැතිව්ස්ගේ සියවැනි ටෙස්ට් තරගයට ආශිර්වාදයක් විය.

ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ 6 වැනි ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස්ගේ නම ඉතිහාසයට එක් වේ. මැතිව්ස්ට කලින් සනත් ජයසූරිය (ටෙස්ට් තරග 110), චමින්ද වාස් (ටෙස්ට් තරග 111), මුත්තයියා මුරලිදරන් (ටෙස්ට් තරග 132), කුමාර් සංගක්කාර (ටෙස්ට් තරග 134) හා මහේල ජයවර්ධන (ටෙස්ට් තරග 149) තරග 100කට වැඩියෙන් ක්‍රීඩා කොට තිබේ. මැතිව්ස් ටෙස්ට් තරග 99කදී ලකුණු 6876ක් රැස් කර ඇති අතර, ඔහුගේ සියවැනි ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම ලකුණු 98ක් වාර්තා කිරීමට සමත් වුව හොත් සනත් ජයසූරිය (ලකුණු 6973) ටෙස්ට් තරගවලදී රැස් කර ඇති ටෙස්ට් ලකුණු ගණන පසු කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

35 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් ලොව පුරා සෑම ක්‍රිකට් පිටියක ක්‍රීඩා කොට ඇති අතර, වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස් කර ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය. එදා මෙදාතුර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මැතිව්ස් ටෙස්ට් තරග 25කට ක්‍රීඩා කොට ලකුණු 1659ක් රැස් කර ඇත. එයට ශතකයක් හා අර්ධ ශතක 13ක් ඇතුළත්ව තිබේ. කොළඹ සාන්ත ජෝසෆ් විද්‍යාලීය කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයකු වූ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරැළිකාර චරිතයකි.

Leave a Reply

Your email address will not be published.